Sunday, October 16, 2016

අළුත් අම්මෙක්?

අපේ කූඩුව තියෙන්නෙ පාර අයිනෙමයි. දවල්ට මෙතන ඉන්නකොට ඉර එළියට ඇස් නිලංකාර වෙලා යනවා. ඒත් වෙන කරන්න දේකුත් නැති නිසා පාරෙ යන වාහන බලන්න අපි පුරුදුවෙලා හිටියා. එක එක විදියෙ වාහන පාරෙ යනව. 

ලොකු අයියා නම් කියන්නෙ ඒව මිනිස්සුන්ව කනව කියලයි. ඒත් අපේ කූඩුව තියෙන තැන නවත්තපු වාහන වලින් මිනිස්සු එළියට එනව මම දැකල තියෙනව. කෑවනම් කොහොමද ආයෙත් එළියට එන්නෙ..? අපි කන කංකුං එහෙම එළියට එන්නෙ නෑනෙ. 

තාත්තා කියන්නෙ අයිය කියන කතා ගැන වැඩිය හිත කරදර කරගන්න එපා කියලයි. වැඩෙන වයසෙදි ඔහොම විකාර හිතෙනවලු. ඔහොම පණ්ඩිත කතා අයිය කියනකොට මට නම් හිතෙන්නෙ හොඳට රිදෙන්න එයාගෙ කකුලක් හපන්නයි. ඇයි අනේ එකම දවසෙ ඉපදිච්ච කට්ටිය ඔහොම පණ්ඩිත කතා කියද්දි කොහොමද ඉවසන්නෙ?

එදා දවල් කෑම වෙලාව එනකම් අපි හැමෝම බලාගෙන හිටියා. මෙහෙම බලාගෙන ඉන්න එක තමයි ඉවසන්න අමාරුම වැඩේ. දැන් මට හරියට බඩගිනි එනවා. අනික් කට්ටියටත් එහෙමයි. ඒත් අපිට කෑම දෙන්නෙ ඉස්සර ප්‍රමාණෙමයි. ඒ නිසා පොරකාල ගත්තෙ නැත්නම් විනාසයි. 

එක පාරටම අපේ කූඩුව ඉස්සරහ රෝද තුනක් තියෙන වාහනයක් ඇවිත් නැවැත්තුවා. මොකෙක් හරි සතෙක් ගෙනියන්න ආපු කෙනෙක් වෙන්න ඇති. වාහනෙන් එළියට බැස්සෙ මහත ගෑනු ළමයෙක්. එයා කලබලෙන් වගේ බහින්න යනකොට බෑග් එක දොරේ හිරවුණා. චුට්ටක් දඟලල බෑග් එක නිදහස් කරගෙන එයා බැලුවෙ අපේ කූඩුව දිහා. ඊටපස්සෙ එයා දිව්වෙ කඩේ ඇතුළට. අපි ඒ දිහා ඔහේ බලාගෙන හිටියා. ඉක්මණට කන්න දෙනවනම් හොඳයි.

ටික වෙලාවකින් අර මහත ගෑනු ළමය අපේ කූඩුව ළඟට ආවා. 

"මොන හාවද මිස්ට ඕනෙ.." අපිට කෑම දෙන කෙනා ඇහුවා.

ගෑනු ළමය පොඩ්ඩක් නැවිල උනන්දුවෙන් අපි හැමෝම දිහා බැලුව. මම පුළුවන් තරම් කූඩුවෙ බිමට හේත්තු වෙලා හිටියෙ එයාට පේන්නෙ නැති වෙන්නයි. මට ගෙදර අය දාල යන්න ඕනෙ නෑ. අයියල නම් බය නැතුව ඉස්සරහට වෙලා හිටියෙ නිර්භීත විදියට. අම්ම රහසෙන් කොඳුරල කිව්වෙ බය නැතුව ඉන්න කියලයි.

"අර පිට මැද කළු ලපයක් තියෙන හාවව දෙන්න." ගෑනු ළමය කිව්වා. 

තාත්ත..!!!! අනේ.. එයා නැතුව කොහොමද අපි ඉන්නෙ.. තාත්තාව ගන්න හැදුවොත් එයාගෙ අත හපනව කියල හිතට අරගෙන මම එහාට මෙහාට පැන්නා. අපේ පවුලෙ අනික් අයත් හිටියෙ කලබල වෙලා. 

"තාත්තාව ගෙනියන්න දෙන්න බෑ. අපි එයාලව හපමු.." මම අනික් අයට කිව්වා. 

ඒත් එයාල මොකුත් නොකිය මගේ දිහාට ඇස් අලවගෙන ඔහේ හිටියා. අපිට කෑම දෙන කෙනාගෙ අත් මගේ දිහාවට ළං වෙනකොට තමයි මට මතක් වුණේ මගේ පිට මැදත් කළු ලපයක් තියෙන විත්තිය.. මම එයාගෙ අත් වලින් ගැලවෙන්න පිස්සුවෙන් වගේ පැන්නා. 

"අම්මෙ, මාව බේරගන්න.." මම අම්මගෙනුත් ඉල්ලුවා.

එයාත් කලබල වෙලා උඩ පැන්නා. මාව ඒ මනුස්සයාගෙ අත් වලින් වහගන්න හැදුවා. පවුලෙ හැමෝගෙම පපුව වේගෙන් ගැහෙනවා මට ඇහුණා. මට ඕනෙ වුණේ මාව ගෙනියන්න එපා කියල කෑ ගහන්නයි. ඒත් කිසිම සද්දයක් පිටවෙන්නෙ නෑ. 

"මට අම්ම එක්ක ඉන්නයි ඕනෙ. කෑම නැති වුණත් කමක් නෑ. මම ආයෙත් කූඩුවෙ හැම තැනම හා බෙටි දාන්නෙ නෑ. හොඳට ඉන්නවා. අනේ මාව ගෙනියන්න එපා." මම පුළුවන් හැම විදියටම අපිට කෑම දෙන කෙනාට කිව්වා. 

මාව කන් දෙකෙන් අල්ලල සිදුරු විදපු කඩදාසි බෑග් එකකට දාල අර ගෑනු ළමයගෙ අතට දෙනකොට මම පුළුවන් තරම් හයියෙන් ඇඬුවා. ඒත් ඒ ගෑනු ළමයටවත්, අපිට කෑම දෙන කෙනාටවත් ඒක ඇහුණෙ නෑ. මාව දාපු කඩදාසි බෑග් එකත් අරන් ගෑනු ළමය නැග්ගෙ රෝද තුනේ වාහනේටයි. ඒ වාහන මිනිස්සුන්ව කනව කියල අයිය කියපු කතාව මතක් වෙලා බයට මාව මැරුණෙ නැති ටික විතරයි. 

මාව දාපු බෑග් එක පපුවට තුරුළු කරගෙන ඒ ගෑනු ළමය කිව්වෙ "මම තමයි ඔයාගෙ අලුත් අම්ම.." කියලයි. පිස්සුවෙන් වගේ මගෙ පපුව ගැහෙනකොට මගෙ ඇත්ත අම්මගෙ සුවඳ ටික ටික නහයට දැනෙන්නෙ නැතුව ගියා. "අළුත් අම්මෙක්?" මම කල්පනා කලේ බයෙන්.

No comments:

Post a Comment