Sunday, October 2, 2016

රපුන්සල් නම් හා පැටික්කිය සමඟ උදේ වරුවක්..

දිනය : 2016 ඔක්තෝබර් 02, ඉරිදා

උදේ හයයි.

රපුන්සල් මගේ ළඟට ඇවිත් දින හයයි. කවදාවත් උදේ දහයට කලින් ඇහැරෙන්නෙ නැති මම උදේ හය වෙනකොට ඇහැරලා. කලින් දවසෙ රෑ නිදාගන්න කලින් රපුන්සල්ට කන්න දාපු කංකුං මිටි බාගෙම එයා කාලා. පැපොල් ඇට වගේ හා බෙටි එයාගෙ වාඩිය පුරාම. ඒත් රපුන්සල් පේන්න නෑ. ඒකත් හොඳයි ඉතින්.. කලබල නොකර කාමරේ අතු ගාගන්න පුලුවන්නෙ.

එහෙම හිතල ඇඳෙන් බහිනකොටම මෙන්න කොහෙදෝ ඉඳන් දුවගෙන එනව රපුන්සල්.. ඇඟමැලි කඩ කඩ, පුංචි කකුල් දික් කරල ඈනුමකුත් ඇර ඇර. එතකොට එයාගෙ රතු පාට පුංචි දිව පේනවා. හරි හුරතල්. හම්මේ ඉතිං..

එයාගෙ ඇඟ වගේ හතර ගුණයක් විතර ලොකු කංකුං මිටියක් කනව එයා දවසකට. ඉතිං ඒ තරම්ම ලොකු හා බෙටි තොගයකුත් දානව. ඒවට කැත හිතෙන්නෙ නෑ. ඒත්, මට රපුන්සල්ව හොස්ටල් එකේ ඇති කරන්න දුන්නෙ කාමරේ පිරිසිදුව තියාගන්නව කියන පොරොන්දුව උඩ. කාමරේ පුරා හා බෙටි තියෙනබව මේට්‍රන් දැක්කොත් විනාසයි. ඉතිං කවුරුත් ඇහැරෙන්න කලින් අතු ගාල මොප් කරන්නෙ ඕනෙ. ඉතිං මම, රපුන්සල්ව පොඩ්ඩක් හුරතල් කරල පිජාමා එක පිටින්ම කාමරේ අතු ගාල මොප් කලා.

හය හමාරයි.

රපුන්සල්ට කන්න කංකුං ගන්න ඕනෙ. කීර වෙළෙන්දා එන්නෙ මේ වෙලාවටයි. හැමදාම උදේට "කීර කීර" කියල අමුතු හඬකින් කෑ ගහමින් එයා යන්නේ. කංකුං, තම්පලා, ගොටුකොළ, මුකුණුවැන්න, නිවිති, සාරණ වගේ හැම වර්ගයකම පලා එයාගේ ළඟ තියෙනව. පලා වලට තමයි "කීර" කියන්නෙ කියල මම දැනගත්තෙ මෙහෙ ආවමයි.

වෙළෙන්දා හැම පලා වර්ගෙම විකුණුවට මම ගන්නෙ කංකුං විතරයි. රපුන්සල් තවම පොඩි පැටිය නිසා එක එක කොළ වර්ග අත්හදා බලන්න බයයි. කංකුං මිටියක් රු. 30 යි.
 

අලුත් කංකුං මිටියෙන් බාගයක් අරන් බිමට දාල මම රපුන්සල්ට කතා කලා.උදෙන්ම නැවුම් කං කුං ලැබෙනතුරු රපුන්සල් ඉන්නෙ හරි උනන්දුවෙන්. එයාගෙ ඇස් දිලිසෙනවා.ටයිල් පොළොවෙ ලිස්ස ලිස්ස දුවගෙන ආපු රපුන්සල් "කරස් කරස්" ගාල කංකුං හපන්න ගත්තා.

එයා හරිම තෘප්තියෙන් කන්නෙ. කංකුං දණ්ඩක් එයාගෙ කට ඇතුළට යන්න තත්පර දෙක තුනකට වඩා ගත වෙන්නෙ නෑ. රපුන්සල් කන විදිය දැක්කම මට මතක් වෙන්නෙ හොරණ වීදුරු කම්හලේ පරණ වීදුරු පොඩි පොඩි කෑලි වලට කඩන මැෂිම.. 

හතයි.

මම බිම ඉඳගෙන, පිට ඇඳට හේත්තු කරගෙන රපුන්සල් දිහා බලාගෙන ඉන්න ගමන් සිංදුවක් මුමුණන්න ගත්තා. 

"නිල් පැහැ අහස මට පෙනෙන විට, 
ලොව අඳුර මා දකින විට, 
තරු විසුළ අහස් ගැබ යටදී, 
මගේ ආදරය ඔබට පමණි.."


මේ සිංදුවේ ශබ්ද වලටද මන්දා රපුන්සල් කැමතියි. එයා මේ සිංදුව ඇහෙද්දි සංසුන් වෙනවා. ප්‍රීතිමත් ගතියක් පෙන්නනවා. ඇස් දිලිසෙනවා. සමහරවිට කියන දේ තේරෙනවත් ඇති. විද්‍යාඥයො ඒ ගැන පරීක්ෂණ කරල තියෙනවද දන්නෙ නෑ..

රපුන්සල් හෙමින්ම ඇවිත් මගේ උකුලට පැනල වැතිරෙනවා. එයා සිනිඳුයි. සුදුයි කලුයි ලොම් අඟල් බාගයක් විතර දිගයි. එයාගෙ ලොම් නිසා මහතට පෙනුණට රපුන්සල් කෙට්ටුයි. මගේ ඇඟිලි එයාගෙ පිට දිගේ යවනකොට ඇස් පියාගෙන ඉන්නව එයා. රපුන්සල් හරිම ආදරණීය හාවෙක්..

හත හමාරයි.

තව ඉන්න හිතුණත් අට හමාරට ක්ලාස්. ඉතින් රපුන්සල්, මම එනකම් පරිස්සමින් ඉන්න.. මගෙ අමල්බිසෝ.




 

 

2 comments: