Tuesday, October 4, 2016

රපුන්සල් සහ හොස්ටල් එකේ පූස් නේවාසිකයා..

අපේ හොස්ටල් එක අනෙක් බෝඩිම් වලට සාපේක්ෂව නීති රීති වැඩි තැනක්. හොස්ටල් එක ඇතුළට එන්න, එළියට යන්න වේලාවන් වෙන් කරලයි තියෙන්නෙ. කාමර ඇතුළෙ කෑම කන්න බෑ. කලින් දන්වපු පවුලෙ සාමාජිකයන්ට විතරයි විසිත්ත කාමරයට ඇවිත් අපිව හමු වෙන්න පුළුවන්. මේට්‍රන් කෙනෙකුත් ඉන්නව. වැදගත්ම දේ, කාමර හා නාන කාමර හැම වෙලාවකම පිරිසිදුව තියාගන්න එක. හොස්ටල් එකට ඇතුළත් වෙන දවසෙ මේ නීති රීති අඩංගු පත්‍රිකාවක් හැම නේවාසිකයෙකුටම ලැබෙනව. ඒත් මේ පත්‍රිකාවෙ සඳහන් කරන්න අමතක වෙච්ච කරුණක් තියෙන බව මම දැන ගත්තෙ මීට මාස දෙක තුනකට කලින්..

රෑ තිස්සෙ ඇහැරගෙන පොත් කියවීම නිසා මට සාමාන්‍යයෙන් පාන්දර දෙක තුන වෙනතුරු නින්ද යන්නෙ නෑ. ඒ නිසා මහන්සියෙන් ඉන්න දවසට ඇහැ පියවගන්න මම වෙනම වෙහෙසක් දරන්න ඕනෙ. එදාත් එහෙම දවසක්. එතකොට මගේ රූම්මේට් නිලුපුලියා නෙමෙයි, ඩිත්මි අක්කා. හැමදාම වගේ එයා කලින්ම නින්දට ගිහින් හිටියා. මම ඇඳේ වැතිරිලා වහලෙ උළු කැටයක එල්ලිච්ච වතුර බිංදුවක් බිමට වැටෙන්න කොච්චර වෙලාවක් ගත වෙයිද කියල හිත හිතා හිටියා.

එතකොටයි මම දැක්කෙ ජනේලෙට උඩින් තියෙන සුළං කවුළුවෙන් මීයෙක් පහලට බහිනවා. සුළං කවුළුවේ සුමුදු යකඩ මතුපිට නිසා ඒකෙ එල්ලිලා බිමට බහින්න අමාරුයි. ඒත් මේ මීයා ඒක නිසා පසුබට වුණේ නෑ. බිමට බහිනකොට දක්වපු ප්‍රවීණකම නිසා මට හිතුණෙ මේ එයා අපේ කාමරේට එන පළමු වතාව නොවන බවයි.


අඩ අඳුරෙ වුණත් මට දැකගන්න පුළුවන් වුණා මීයා කාමරය ඇතුළෙ හැසිරෙන හැටි. හවස ගෙනාපු චොක්ලට් බිස්කට් පැකට් එක මම ඉවර කරපු නිසා මීයාට කන්න දෙයක් කාමරේ නැති බව මම දැනගෙන හිටියා. "කමක් නෑ.. කෑම හොයල හොයල හෙම්බත් වුණාම යයිනෙ. හොඳ වැඩේ.." මට කුරිරු සතුටක් ආවා. ඇස් පියාගෙන මම කල්පනා කලේ මට කෙට්ටු වෙන්න තියෙන බාධා ගැන. හවස චොක්ලට් බිස්කට් කනගමන් කරපු ගණනය කිරීම් වලට අනුව, මම අවුරුද්දකට චොක්ලට් බිස්කට් තුන් දහස් දෙසිය අසූ පහක් කනවා..!!! 

ඒ වෙද්දි මම හිටියෙ හැමදාම උදේට දුවල මගේ බර කිලෝ පණස් පහක් කරගෙන විජයග්‍රාහීව බර කිරන තරාදියෙන් බහින කොටසෙ. එක පාරටම කණ ගාවින්ම යමක් හෙලවෙනව වගේ දැනුණ නිසා මම ගැස්සිල කල්පනාවෙන් මිදුණා. මීයා..!!! මගේ මූණ ළඟම..!!! ඒත් මම කෑ ගැහුවෙ නෑ. හෙමින් සැරේ ඇඳේ ඉඳගෙන ඩිත්මි අක්කට කතා කලා. නිදිමරගාතෙ හිටපු ඩිත්මි අක්කට මම කියපු දේ තේරෙන්න විනාඩි පහක් විතර ගතවුණා. හැබැයි තේරුණ ගමන් එයාගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද කියල මම දැනගෙන හිටිය නිසා අතුරු ආපදා වලින් බේරෙන්න පුලුවන් වුණා. කෑ ගහල උඩ පැනල භීතිය පළකරපු ඩිත්මි අක්ක නතර වුණේ මගෙ ඇඳේ.. මදුරු දැල තමයි මීයාගෙන් අපිව ආරක්ෂා කරන ඉලෙක්ට්‍රික් තාප්පෙ. බැරිවෙලාවත් මීයා ඒක හරහා ආවොත් නිසැකවම මියයනවා. කරන්ට් වැදිල නෙමෙයි. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකෙනුයි ගිණුම්කරණ ප්‍රමිත පොතෙනුයි නොසෑහෙන්න ගුටි කාල. මෙහෙම දේවල් හිත හිතා ඩිත්මි අක්කයි මමයි එළි වෙනකම් නිදි මැරුවා.

පහුවදා උදේ තමයි විස්මිත ආශ්චර්යමත් දෙයක් සිදු වුණේ. මීයාගේ ආගමනය සමස්ත හොස්ටල් ප්‍රජාවටම හිරිහැරයක් වෙලා තිබුණ බව අපි දැනගත්තා. හැම පෝයටම සිල් ගන්න මේට්‍රන් කතා කළෙත් මීයාව මරන්නයි. එයාගේ උතුරු සළුවත් මීයා අනුභව කරලා. මේට්‍රන්ගේ කෝපාග්නිය එල්ල වුණේ 20% ක් මීයාට.. 80% ක් කාමර වල ඉඳන් කෑම කන නේවාසිකයන්ට. මේට්‍රන්ට පැය බාගෙකට වඩා සවන් දීල මම ගියේ කුණු වීසිකරන්න. දැකපු දෙයින් මට මිනි හාට් ඇටෑක් එකක් හැදුණා.

කුණු බාල්දිය ළඟ හුරතල් පූසෙක්. එයා අළු පාටයි. මාස පහක් හයක් වත් ඇති. මාව දැකපු ගමන් පුරු පුරු ගගා ලඟට ඇවිත් කකුලෙ වෙළුණා. මේට්‍රන්ගෙ ප්‍රතිචාරයත් හොඳ එකක් වුණා. පූසාව ඇතුළට ගේන්න අවසර ලැබුණා. එදා රෑ මේට්‍රනුයි මමයි හොස්ටල් එකේ නීති රීති තියෙන උපදෙස් පත්‍රිකාව දෙතුන් පාරක්ම උනන්දුවෙන් කියෙව්වෙ "සතුන් ඇතිකිරීම තහනම්" කියල නීතියක් තියෙනවද දැනගන්නයි. එහෙම දෙයක් තිබුණෙ නෑ. ඒ නිසා පූසා හොස්ටල් එකේ නේවාසිකයෙක් වුණා. මී උවදුරත් නැති වුණා.

හොස්ටල් එකේ පූස් නේවාසිකයාට හැම කෙනෙකුගෙම ආදරේ හිමිවුණා. කෑම බීම ගැන උනන්දුවක් නැති, හුරතල් වීමෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන් පූසෙක් එයා. හැමදාම මස් මාළු ලැබුණත් ඒවා කන්න ඕනෙකමක් නෑ. ඒත් එයාව හුරතල් නොකරොත් කේන්ති ගන්නවා. දවස් ගතවෙනකොට හොස්ටල් එකේ පූසන්ට බය නේවාසිකයන් පවා පූසාට අසීමිතව ආදරේ කරන්න ගත්තා. මගේ කාමරේ ඇතුළට එන්නත් පූස් නේවාසිකයා පසුබට වුණේ නෑ. එතනදි එයාට ආදරේ නොඅඩුව ලැබුණා.

මේ අතර පූස් නේවාසිකයාගෙ සුඛිත මුදිත ජීවිතයට නොසිතූ විරූ අකුණක් පාත් වුණා. ඒ, රපුන්සල්.. හාවාගෙ ආගමනය පූස් නේවාසිකයගෙ ජීවිතේ උඩු යටිකුරු කලා. කොටින්ම මගේ කාමරය එයාට තහනම්, අධි ආරක්ෂිත කලාපයක් වුණා. ඇතුළට එන්න උත්සාහ කරන හැම වෙලාවෙම එයාට වැට කොටු බැඳුණා. මම එළි පහළියේ ගැවසෙනකොට කකුලෙ ඇතිල්ලෙන්න හදනකොට ඒකට මේට්‍රන් වැට බැන්දා. අන්තිමට, පූස් නේවාසිකයා දුක දරාගන්න පුරුදු වුණා.

දැන් ඇස් දෙක කොළපාට කරගෙන පූස් නේවාසිකයා මගේ දිහා බලනවා. මම රපුන්සල්ට කතා කරනකොට උනන්දුවෙන් කන් දෙනවා. මම එහෙ මෙහෙ හැසිරෙනකොට තරහෙන් බලාගෙන ඉන්නවා. මට මේ හැම දෙයක්ම පේනවා. එත්, ඉක්මණින්ම.. රපුන්සල්ට එයාගෙන් ජීවිත අවදානමක් නෑ කියල තහවුරු වුණ ගමන්ම පූස් නේවාසිකයාට ආපහු මගේ කාමරේ දොර ඇරෙනවා කියල හිතල, මම අසරණ පූස්ගෙ බැල්ම නොදැක්ක ගාණට ඉන්නවා.

No comments:

Post a Comment