Sunday, October 2, 2016

ඔබට වඩාත්ම ගැලපෙන සුරතලා සාවෙකු වන්නේ ඇයි?

මම පොඩිකාලෙ ඉඳන්ම සතුන් ඇතිකරන්න ආසයි. මතක ඇති කාලෙක ඉඳල අපේ ගෙදර බල්ලො, පූසො හිටියා. එයාලට එක එක නම් තිබුණා. ගෙදර හැමෝම එක්ක ආදරෙන් බැඳෙන්න එයාල සමත් වුණා. කැම්පස් ආවට පස්සෙ නේවාසිකාගාරයේ දැඩි නීති රීති යටතේ සුරතල් සතුන් ඇතිකරන්න මට හැකියාවක් තිබුණෙ නෑ. ඊටත්, ඇහිරිච්ච ඉඩක බල්ලෙක්, පූසෙක් වගේ සතෙක් ඇතිකිරීම අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. ඒත්, විඩාබර දවසක් අවසානයේ හෙම්බත්වෙලා බෝඩිමට එනකොට, මාව පිළිගන්න ලොම් සහිත සතෙක් බලාගෙන ඉන්නවනම් කොච්චර හොඳද කියල මට හිතුණ වාර අනන්තයි, අප්‍රමාණයි. මේ අතරෙදි තමයි මට හිතුණෙ, මම හාවෙක් ඇතිකරන්නෙ නැත්තෙ ඇයි කියල.

මට වඩාත් ගැලපෙන සුරතලා හාවෙක් කියල තීරණය කරන්න හේතු ගොඩක් තිබුණා. 
  
 1. හාවො හරිම නිශ්ශබ්ද සත්තු. 
ගෙදරදි අපේ බලු පැටිය බුරනකොට නිදාගෙන ඉන්න අය ඇහැරෙන්නෙ උඩ වීසි වෙලා. පූසෙක් කියලත් වැඩි වෙනසක් නෑ. ඤාව් ගාන්නෙ මහ සද්දෙන් තමයි. ඒත් හාවෙක් ඉන්නකොට එයා කිසිම සද්දයක් කරන්නෙ නෑ. අහල පහල අයට ඇහේවි කියල බයේ දඟලන්න හේතුවක් නෑ. ඒ විතරක් නෙමෙයි, ඔයා චූටි සද්දෙකටත් ඇහැරෙන කෙනෙක් නම්, හාවෙක් තමයි ඔයාට වඇඩිපුරම ගැලපෙන සුරතලා.. 

2. අයිතිකාරයා එක්ක හරිම ඉක්මණින් බැඳීමක් ඇති කරගන්න හාවො හරි දක්ෂයි. 
අහන්න ඕනෙම හාවෙක් ඇතිකරන කෙනෙකුගෙන්.. බල්ලෙක්, පූසෙක් වගේම හාවෙකුත් හරිම ඉක්මණට තමන්ගෙ ස්වාමියා කවුද කියල හොඳින් හඳුනාගන්නවා. ඒ කටහඬෙන්, සුවඳෙන් හෝ පෙනුමෙන් වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි, කතා කරපු ගමන් ළඟට දුවගෙන එන්නත් හාවො කැමතියි. මම පෞද්ගලිකව හරිම කැමති දෙයක් තමයි එයාල මම යන යන තැනට පුළුන් ගුලියක් වගේ පෙරළි පෙරළි පිටිපස්සෙන් එන එක.

3. අනිත් සුරතල් සතුන්ට සාපේක්ෂව ඕනෙ වෙන්නෙ අඩු ඉඩක්.
 
 ඔබට තියෙන්නෙ පොඩි ගෙදරක් හෝ කාමරයක් නම්, හාවෙක් තමයි ඔබට වඩාත්ම ගැලපෙන සුරතලා වෙන්නෙ. බල්ලෙක්, පූසෙක් වාගේ නෙමෙයි, හාවෙකුට ඇවිදින්න ලොකු ඉඩ කඩක් ඕනෙ නෑ. එයාට කෑම කන්න තැනකුයි, ශරීර කෘත්‍යය කරගන්න තැනකුයි, කම්මැලි හිතුණම පොඩ්ඩක් දිග ඇදිල ඉන්න තැනකුයි තිබුණම හොඳටම ඇති. සමහර හාවො කැමතියි, කාඩ්බෝඩ් පෙට්ටියක දොරක් කපල අනෙක් පැත්ත හරවල තියනවටත්. එතකොට ඒක ඇතුළට රිංගල විවේක ගන්න පුලුවන්නෙ.  

4. හාවො පහසුවෙන් පුහුණු කරන්න පුලුවන්.

ලිටර් බොක්ස් ( හාවගෙ වැසිකිළිය ) පාවිච්චි කරන්න වගේම තවත් ගොඩක් දේවල්වලට හාවන් පුහුණු කරන්න පුලුවන්. පුංචි පුංචි දඟ වැඩ කරන්න, බාධක දුවන්න, පොඩි උමං හරහා දුවල ගිහින් එළියට එන පාර හොයාගන්න වගේ ජොලි වැඩ කරන්න හාවන්ට උගන්වන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ, කිසියම් වැඩක් ඔබ උගන්වපු විදියටම සාර්ථකව නිම කලාම හාවාට කැරට් පෙත්තක් දෙන එක විතරයි.

5. හාවන්ගේ ප්‍රබල පෞරුෂය.


අපිට පොඩිකාලෙ ඉඳලම මනසට කා වැදුණු ස්ටීරියෝටයිප් එකක් තියෙනවනෙ හාවො අහිංසකයි කියල. ඔව්, එයාල හරිම අහිංසකයි. ඒත් හාවගෙන් හාවට වෙනස් වෙන පෞරුෂත්ව ගතිලක්ෂණත් තියෙනව. සමහර හාවො හරිම ක්‍රියාශීලී වෙද්දි සමහර හාවො ආසයි දවසම නිදාගන්න. ඒ විතරක් නෙමෙයි, සමාජශීලී හාවො වගේම හරිම කුලෑටි හාවොත් ඉන්නව.

6. හාවො දිගු කාලයක් ජීවත් වෙනවා.


හොඳට ආදරෙන් රැකබලා ගත්තොත් හාවෙක් අවුරුදු දොළහකටත් වැඩි කාලයක් ජීවත් වෙනවා. ඒ කියන්නෙ, බල්ලෙක් පූසෙක් ජීවත් වෙන කාලයට ආසන්න කාලයක්. හැම්ස්ටර්, ගිනිපිග් හෝ මීයන් මෙතරම් කාලයක් ජීවත් වෙන්නෙ නෑ. ගෘහස්තව ඇතිකරන හාවුන්, එළිපහළියේ ඇතිකරන හාවුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. මේකට හේතුව තමයි, වෙනත් අනතුරු හෝ ලෙඩරෝගවලට ගොදුරුවීමට ඇති ඉඩ කඩ අවම වීම..

7. හාවො හරිම පිරිසිදුයි.

වැසිකිළිය පාවිච්චිකිරීම ගැන හරි අවබෝධයක් නැති පුංචි කාලෙදි, හා පැටවු හැම තැනම මළපහ කරනවා. ඒත් හොඳ වැසිකිළි පුරුදු කියාදීමෙන් පස්සෙ හාවො හරිම පිරිසිදුයි. එයාල හැම වෙලාවෙම නානවා. සතියකට පාරක් ලොම් පීරීම මඟින් හැලෙන ලොම් හැම තැනම විසිරීම පාලනය කරගන්න පුලුවන්.

8. එක එක පාට, එක එක තරමෙ, එක එක විදියෙ හාවො ඉන්නවා.


කළු පාට. සුදු පාට, අළු පාට, දුඹුරු පාට, එහෙමත් නැත්නම් පාට දෙකේ හාවො.. පාට තුනේ හාවො.. ලොකු, පොඩි, මහත, කෙට්ටු හාවො. ඔබ කැමති මොන විදියෙ හාවෙකුට ද?

9. හාවුන් ලබාගැනීම පහසුයි.


කිසියම් හේතුවක් නිසා අයිතිකරුට රැක බලාගන්න අපහසු වුණ හාවො ගොඩක් සුරතල් සතුන් විකුණන තැන්වල ඉන්නවා. එයාලව ලබාගැනීම හරිම පහසුයි. මාසයක් වයස කුඩා හා පැටියෙක් රු. 750ක් වැනි මුදලකට ලබාගන්න පුළුවන්.

10. කෙටියෙන්ම කිව්වොත් හාවො හරිම හුරතල්.

පුළුන් ගුළියක් වගේ හුරතල් හාවෙකුට කවුද අකමැති? හාවො කෑම කනකොට හරිම හුරතල්. වතුර බොනකොටත් හුරතල්. පැන පැන යනකොටත් හුරතල්. නිදාගෙන ඉන්නකොටත් හුරතල්. වෙන එකක් තියා එයාලාගෙ හැමදෙයක්ම හරිම හුරතල්.

1 comment: