Monday, October 3, 2016

සාවුන් අරුම පුදුම ජීවීන් ය..

රපුන්සල් ආදරේ හිතෙන හාවෙක්. ඒ විතරක් නෙමෙයි එයා බුද්ධිමත්. තීක්ෂණයි. වේගවත්. පිරිසිදුයි. හුරතල්. තව මොනවද මම රපුන්සල් ගැන නොදන්නෙ..?

උදේ නැගිටපු ගමන්, කාමරේ මොප් කරල කංකුං මිටියක් රපුන්සල්ට දීල මම කල්පනා කරන්න ගත්තා.

රපුන්සල් කොහොමද මාව අනිත් අයගෙන් වෙන් කරල හඳුනාගන්නෙ?

මම කොහේ හරි ගිහින් දොර ඇරගෙන ඇතුළට එනකොට, කාමරේ මුල්ලක ගුළිවෙලා නිදාගෙන හිටපු රපුන්සල් උඩ පැනල කරණමක් ගහල දුවගෙන එනවා.
මම කතා කරනකොට, උපාසක අම්මෙක් බණ අහනව වගේ මගේ දිහා බලාගෙන ඉන්නව. අත් දෙක උස්සල, කණ් ඇන්ටෙනා වගේ මගේ පැත්තට හරවනව.. රපුන්සල්ව බලන්න මගේ යාළුවො ආවම ඒ ප්‍රතිචාරය එයා දක්වන්නෙ නෑනෙ. ඒ කියන්නෙ රපුන්සල්ට ගඳ සුවඳ, කටහඬ හා පෙනුම වගේ දේවල් දැනෙනව. මම කතා කරද්දි මගේ කටහඬ එයාට සුමයුරු ගීතයක් වගේ ඇහෙනව ඇති නේ? හ්ම්ම්.. වෙන්න බෑ.. කවුරුත් මෙච්චර කාලෙකට එහෙම කියල නෑනෙ. රපුන්සල්ට විතරක් අමුතු විදියට ඇහෙන්න විදියක් නෑ.

දීප්තිමත් ඇස් ඇති හා පැංචි..

රපුන්සල්ගෙ නහය තියෙන තැන මහතයි. ඇස් පිහිටල තියෙන්නෙ දෙපැත්තට වෙන්න.මම එයාව කාමරේ මැද තියල එයා වටේ කැරකුණා. එයාගෙ ඇසුත් මගේ දිහාටම ඇලිල තිබුණා. හරි පුදුමයි. කළුපාට ලොකු රවුම් ඇස් අංශක 360ක්ම කරකවන්න පුළුවන්. 
මම ඉන්ටනෙට් සර්ච් කරල බැලුවා. නහය තියෙන තැන ඇරෙන්නෙ එයා වටේ වෙන හැම දෙයක්ම හාවන්ට පේනවලු. එයාල පිටිපස්සෙ වෙන දේවලුත් පේනවලු. අම්මෝ.. මීට පස්සෙ කැරට් හංගනකොට පරිස්සමින්..

හා කරණම්..

අලුත් කංකුං මිටියක් ලැබුණම, මම කොහෙ හරි ගිහින් ඉඳල ආවම, රපුන්සල්ගෙ නම කියල කතාකලාම එයා චුට්ටක් උඩ පැනල කරණමක් ගහනව. අහසෙදි එයාගෙ ඇඟ අඹරවල ගස්සනව. කන් පෙති හොලවනව. ඇයි මෙහෙම කරන්නෙ? අසනීපයක් වත් ද?
කෝකටත් තෛලෙ ඉන්ටනෙට්. මම සර්ච් කලා. රපුන්සල් ගෙනාවත් හරි මගේ ඉන්ටනෙට් සර්ච් කිරිල්ල වැඩි වෙලා.

ඔහ්.. ඒක සතුටේ සංකේතයක්ලු. ඒ කියන්නෙ මාව දැක්කම, රස කෑමක් කෑවම මගෙ හා මැණික සතුටෙන්..

No comments:

Post a Comment