Wednesday, October 12, 2016

මේක කෑම ලෝකයක්නෙ..

රපුන්සල් කෑම කන විදිය බලන්න ලස්සනයි. කංකුං දණ්ඩක් තෝරගෙන මුලින්ම දළු ටික කනවා. ඊටපස්සෙ එච්චර මෝරපු නැති කොළ. ඊටපස්සෙ මෝරපු කොළ. අන්තිමටම දඬු. ඒව කනකොට තමයි අර "කරස් කරස්" සද්දෙ ඇහෙන්නෙ. එයා රස කර කර කන විදියට හිතෙන්නෙ කංකුං තමයි ලෝකෙ තියෙන රසම කෑම කියල. ඉතින් දවසක් ආසාව දරාගන්න බැරුව මම කංකුං දල්ලක් අමුවෙන් කෑව. ඒක රසයි. නැවුම්.. වතුර රසයි. 

රපුන්සල් කන විදියටම කෑම රස විඳින අය පොඩි කාලෙ ඉඳලම මගෙ ජීවිතේ හිටියා. පළවෙනිම කෙනා කිරිඅම්මා. එයා අපේ ගෙදර ආවම එයාට බත් කන්න අම්මා ලස්සන පිඟානක් දෙනවා. ඒක පිඟන් මැටි. ඒකෙ අයින කිරි තේ පාටයි. ඒ පිඟානට අයියයි මමයි දෙන්නම හරි ආසයි. ඒත් අපිට ඒකෙ කන්න දෙන්නෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ අඩියෙ මලක් තියෙන බෙලෙක් පිඟන්. අයියගෙ පිඟානෙ තියෙන මල නිල්, මගේ පිඟානෙ මල රතු.. බිම වැටුණත්, රෝල් වුණත්, වැරදිලා ඒක උඩ ඉඳගත්තත් ඒ පිඟන් කැඩෙන්නෙ නැහැ. පතුරු යනවා විතරයි. පිඟානෙ අඩියෙ තිබුණ මල පේනකන් බත් කෑවොත් එදාට අම්මට හරි සතුටුයි. දැන් ෂැගීට කෑම දෙන්නෙ, මලක් තිබුණ මගෙ පරණ පිඟානෙ. අයියගෙ පිඟාන නැතිවෙලා.

හරි හරි.. ඉතින් කිරිඅම්ම අපේ ගෙදර ආවම අම්ම හදන පිපිඤ්ඤා සලාදෙ මට හරි රසයි කියල හිතෙනවා. මොකද කිරිඅම්ම කනකොට ඇහෙන පිපිඤ්ඤා කෑලි "කරස් කරස්" ගාල හපන සද්දෙ.. මම ඒ සද්දෙට පුදුම ආසයි. කිරිඅම්ම කෑම අනන විදියත් හරි ලස්සනයි. එයා කෑම කන ගමන් කියන පුංචි පුංචි විස්තරත් හරි ලස්සනයි. කෑම මේසෙ තියෙන්නෙ එච්චර රස නැති දේවල් වුණත් කිරිඅම්මට පුළුවන් ඒව හරිම රස දේවල් කියල දැනෙන්න සලස්වන්න.. උදාහරණෙකට ගමු කරවිල රෝද රෝද කපල, ගැඹුරු තෙලේ බැදල එකට ලූනු මිරිස් කපල දාල අපේ අම්ම හදන සලාදය.. මට ඒක ඉස්සර පෙන්නන්න බැහැ. ඒත් කිරිඅම්ම ඒක කනව දැකල මම ඒකට දැන් ආසයි.

ඊළඟ කෑම රස විඳින්නිය..ලොකු අක්කා. එයා අපේ අප්පච්චිගෙ නංගිගේ දුවයි. මට වඩා ගොඩක් වැඩිමල්. අම්ම අප්පච්චිව බැඳල අපේ ගෙදරට එනකොටත් ලොකු අක්කා හිටියා. එයා ළඟ ඉන්න මම කැමතියි. එයා හරි සුවඳයි. මාව බලාගන්න කෙනෙක් නැතිම වුණ දවසට එයා මාව බලා ගත්තා. එතකොට මට කෑම කැව්වෙත් එයා. එළබටු එයා කැමතිම කෑමක්. එයා කැමති නිසා මමත් එළබටුවලට කැමතියි. මුලින්ම එළබටුවල මදය මට කවනවා. පස්සෙ පොත්තත් කවනවා. පොත්ත රස නැහැ. ඒත් එයාට දුක හිතෙයි කියලා මම පොත්තත් ආසාවෙන් කනවා. මට කවන ගමන් එයා කිව්වේ ලස්සන ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළුවුණ හැටි, එයාලගෙ සම්බන්ධෙට ගෑනු ළමයාගෙ නපුරු තාත්තා විරුද්ධ වුණ හැටි.. අන්තිමේදි ගෑනු ළමයා මැරෙනවා.

ඉස්කෝලෙ යන වයසට ආවමත් රස කෑම වලට කැමති ළමයෙක් මට හම්බවුණා. අවුරුදු දෙකක්ම අම්ම උගන්නපු ඉස්කෝලෙ ඉඳල මම පොල්ගහවෙල බර්නාදෙත් එකට ආවෙ තුනේදි. පන්තියෙ අනික් හැමෝම එක වසරෙ ඉඳල එකට හිටපු අය නිසා මට යාලුවෙක් හොයාගන්න අමාරු වුණා. තුන බී පන්තියෙ හිටියා මහත ගෑනු ළමයි සෙට් එකක්. මම ඒ දවස්වල හූනෙක් වගේ නිසා මට එයාලව තවත් ලොකුවට පෙනුණා. ඒ සෙට් එකේ දිගම කොණ්ඩෙ තිබුණ ළමයා සචිනි. එයාගෙ කෑම පෙට්ටිය හරි ලස්සනයි. එක එක දවසට එක එක කෑම. අපේ අම්ම ඉස්කෝලෙ යන නිසා හැමදාම මගේ කෑම පෙට්ටියෙ තියෙන්නෙ බත්. මගේ කෑම පෙට්ටියත් මල් වත්තක් වගේ වුණාට මට ඕනෙ වුණේ සචිනිගෙ කෑමයි. ඔහොම ඉන්නකොට තමයි සචිනි දවසක් ඉන්ටවල් එකේදි ඇහුවෙ "ඒයි, මාරු කරමු ද?" කියලා. මමත් උඩ පැනල කැමතිවුණා. එදා ඉඳල පහ වසරට යනකම්ම අපි දෙන්න කෑම පෙට්ටි මාරු කරගෙනයි කෑවෙ. ඒක අපේ අම්මලා දන්නෙ නැහැ.
පින්නවලට ආවට පස්සෙ මට හම්බුණ කෑම පෙරේතයා ප්‍රීතිමාලි. දොඩම් ගෙඩි දෙකක් උස නැති බටු ඇටය.. හය වසරෙ ඉඳන් එකොළහට එනකම්ම තුන්වෙනි පීරියඩ් එක වෙද්දි අපි දෙන්නා කැන්ටිමේ. එක්කො උණු උණු පොල් රොටී, නැතිනම් රසම රස රෝල්ස්. මේව නැතිවුණ දවසට අපි නිකන් නාටු බල්ලො දෙන්නෙක් වගේ ඉබාගාතෙ ඇවිදිනව. ඒ නිසා කැන්ටිමේ අංකල් කොහොමහරි පොල් රොටී දෙකක් ඉතුරුකරගෙන ඉන්නව. බුක්ෂොප් එකේ අංකලුත් අපිට පැණිකජු තියාගෙන ඉන්න පුරුදුවෙලා හිටිය. ඒලෙවල් රිසල්ට්ස් කියන්න ඉස්කෝලෙ බුක්ෂොප් එකට ගියාම, අංකල් මට පැණිකජු බෝතලයක්ම තෑගි දුන්න. ප්‍රීතිමාලි දන්නවනම් පැලිල මැරෙයි..!!! 

ඉතින් රපුන්සල්, ඔයා නෙමෙයි මගේ ජීවිතේ කෑම වලට ආදරේ කරන එකම කෙනා. තව ගොඩක් අය ඉන්නව. ඉස්සරහට තවත් අය හම්බ වෙයි.


No comments:

Post a Comment