Wednesday, October 12, 2016

කොහොල්ලෑ බබා..

ඉස්සර අම්මා අපිට බත්කවන ගමන් කියන කතන්දර කීපයක් තිබුණා. "මී පුප් ලදිම්, දරු නොලදිම්, රංකැටි පුතා කෝ" කියන කතාව, කොහාගෙ කතාව සහ කොහොල්ලෑ බබාගෙ කතාව මගේ ප්‍රියතම කතන්දර.. මේවා අම්මට කියලම එපා වෙන්න ඇති. ඇයි ඉතින් කතාවෙ වචනයක් එහෙ මෙහෙ වුණොත් "නෑ එහෙම නෙමෙයිනෙ.. මෙහෙමනෙ වුණේ" කියන්න අයියයි මමයි සැදී පැහැදී බලාගෙන ඉන්නවනෙ. 

කොහොල්ලෑ බබාගෙ කතාව මේ අතරින් විශේෂ වෙන්නෙ ඒ කතාවෙ හාවෙක් ඉන්න නිසා. අම්ම කිව්ව විස්තරවලින් සහ පොත්වල, පත්තරවල තිබුණ හාවන්ගෙ පින්තූරවලින් හිතේ මැවිච්ච හාවෙක් ඇරෙන්න ඇත්ත හාවෙක් අපි දැකල තිබ්බෙ නෑ. ඒත් දවසක් අපේ බල්ල වත්තෙ ඉඳල හාවෙක් අල්ලල, හාවගෙ බාගයක් කාල ඉතුරු බාගෙ ගෙදර ගෙනත් තිබ්බ. ඒත් ඉතින් දැක්කෙ හා බාගයක්නෙ.
 

මෙහෙම ඉන්නකොට තමයි කොහොල්ලෑ බබාලා හදන අදහස අපේ කිරිඅම්මට ආවෙ.  දවල්ට උයන්න කොස් සුද්දකරන ගමන් අතේ ගෑවුණ කොහොල්ලෑවල වතුර ගාල ලොකු ගුළියක් හැදුවා එයා. ඊටපස්සෙ බල්ලගෙ කූඩුව තිබුණ මඩුවෙ කණුවක ඓතිහාසික කොහොල්ලෑ බබාලගෙ සිතුවම නිර්මාණය කලා. ඒකෙ ඉන්නෙ ළමයි හතර දෙනෙක්. පිරිමි ළමයි දෙන්නයි, ගෑනු ළමයි දෙන්නයි. එක පිරිමි ළමයෙක් අනිත් අයට වඩා උසයි. ඒ අපේ අයියා. අනිත් පිරිමි ළමයගෙ කොණ්ඩෙ පොකුටුයි. චතුර අයියා. ගෑනු ළමයි දෙන්නගෙන් කූරු කොණ්ඩෙ තියෙන චතුර අයිය ගාණට උස කෙනා මමයි. මිටියට, බෝලයක් වගේ ඉන්නෙ චතුරි නංගි. අපි හතර දෙනාම ඒ සිතුවම නිර්මාණය කරන හැටි ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා. තවමත් ඒක ඒ කණුවෙ තියෙනවා. කොහොල්ලෑ බබාල හතරදෙනා දැන් දුඹුරු පාටයි.

ගෙදර ඇවිත් අයියයි මායි ඇවිටිලි කරපු නිසා අපේ ගෙදර කණුවක අම්මත් කොහොල්ලෑ බබාලගෙ සිතුවමක් නිර්මාණය කලා. ඒකෙ ඉන්නෙ ළමයි දෙන්නයි. අයියයි මමයි. පස්සෙ, පූසො දෙන්නෙකුයි බල්ලො කීපදෙනෙකුයි සිතුවමට එකතුවුණා. අම්මයි මමයි සැලසුම් කරන්නෙ කවදහරි අයියගෙ බබාවත් සිතුවමට එකතු කරන්නයි.

කොහොල්ලෑ බබාලගෙ සිතුවමට මුල්වුණේ හාවෙක් ඉඳපු කොහොල්ලැ බබාගෙ කතාව වුණාට, සිත්තමේ හාවෙක් නෑ. ඉතින් සෑහෙන කලක් යනතුරුම අයියටයි මටයි ඇත්ත හාවෙක් දැකගන්න පුදුම උණක් තිබුණා. දවසක් මිදුලෙ උඳුපියලිය ගොල්ලෙ හා බෙටි තිබිල මට ගෙනත් දුන්නෙ පොඩිඅත්තා. එදා රෑ හාවො එනවද බලන්න මම කාමරේ ජනේලෙ ලඟ රැකල හිටියා. ඒක දැනගත්ත අයියා මට ගොඩ්වින්ගෙ හොල්මන් කතාව කිව්වා. හාවො දකින ආසාව පැත්තක තියල මම බයේ ගැහි ගැහී නිදාගත්තා.

දවසක් අයියයි මමයි ක්‍රිකට් ගහනකොට බෝලෙ කැලේට ගියා. අයියගෙයි මගෙයි ක්‍රිකට් ක්‍රීඩාවෙ නීතිය තමයි "පන්දුවට පහරදුන් කෙනා බෝලය සෙවිය යුතුයි" කියන එක. නීතියේ හැටියට අයියා බෝලෙ හොයන්න ගියා. අන්නාසි ගාලක් ළඟදි අයියා මට අඬ ගැහුවා. බෝලෙ හොයන්න උදව්වට වෙන්න ඇති එන්න කියන්නෙ, කියල හිතල මම ඇහුණෙ නෑ වගේ බැට් එකෙන් මල් ගහක් තල තල හිටියා. එතකොට අයියා සැර දාල කතා කලා. 

එතනට දඩි බිඩි ගාල දිව්වම "සද්ද කරන්න එපා" කියල අයිය මට සැරකලා. 
මම ඇඟිලි තුඩු වලින් එතනට ඇදුණා. 
"හාවෙක්.." අයියා රහසෙන් කිව්වා.
"බොරු නැතුව ඉන්න.."  මම එයාව ගණන් නොගෙන කිව්ව. අයිය මට සැරකරපු නිසා මම හිටියෙ කේන්තියෙන්. 
"නෑ.. ඇත්ත. මේ.." අන්නාසි පඳුර අස්සට අත දාලා අයියා දුඹුරුපාට හා පැටියෙක්ව ගත්තා. මට පිස්සු හැදෙන්න ආවා. කොහොමහරි  අපි දෙන්න බල්ලාව මඟ ඇරල හාවාව ගේ ඇතුළට ගෙනාවා.
 

හොඳටම බයවෙච්ච හා පැටියා හිටියෙ බිමට ගුළිවෙලා. වලිගයක් තිබුණෙත් නෑ. අයියයි මමයි හා පැටියා ළඟ බිම වැතිරිලා නිරීක්ෂණය කරන්න ගත්තා. එතකොට අපේ අම්මත් එතනට ආවා. අන්තිමේදි තීරණය වුණේ හා පැටියාව ආපහු කැළේට දාන්නයි. හා අම්මා දැන් පැටියව හොයන විදිය අනුවේදනීය විදියට විස්තර කරල අපේ අම්මා අපිව තීරණයට කැමති කර ගත්තා.

කොහොමින් කොහොම හරි අපි අන්තිමේ හැබෑ හාවෙක්වත් දැක්කා. ඒත් කොහොල්ලෑ බබාලගෙ සිත්තමේ හාවෙක් හදන්න අමතක වුණා.  අද රපුන්සල් දිහා බලන ගමන්, මට මතක් වුණේ කොහොල්ලෑ බබාව. මම ගෙදර ගිය ගමන් රපුන්සල්ගෙ රූපයත් ඒ සිත්තමට එකතු කරන්න ඕනෙ.. ඉක්මණින්ම.




No comments:

Post a Comment