Tuesday, October 11, 2016

රපුන්සල් නැතිදා..

රපුන්සල් ගැන මම ලියන දේවල් එකක් නෑර කියවන මගේ අම්ම, ඒ හැම දෙයක්ම ආසාවෙන් කියෙව්වට හිත ඇතුළෙන් දුක් වෙන බව මම දන්නව. මම ලියන හැම දෙයක්ම ඒ ඒ දේවල් ගැන මම තදින් හිතන බව පෙන්නුම් කරනවලු. ඕනෙම දෙයක් ගැන තදින් හිතුවම, දුක හිතෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලයි එයා කියන්නෙ.. "සත්තු ගැන ඔච්චරම ආදරෙන් හිතන්න එපා. ඔයාට දුක හිතෙයි." අම්මා මගෙත් එක්ක කතා කරන ගමන් එක පාරට මෙහෙම කිව්වම, මම දන්නව අද එයා මම ලියපු දෙයක් කියවල කියලා. රපුන්සල් නැති දවසක මම ඒ දුක කොහොම දරාගනීවිද? අම්ම නිතර ඒ ගැන හිතනව.. රපුන්සල්ගෙ ලොම් පිරුණු ඔළුව අතගාන ගමන්, මමත් අද ඒකම කල්පනා කලා.
රපුන්සල් ගැන විතරක් නෙමෙයි, හැම දෙයක් ගැනම තදින් හිතන එක, මට සාමාන්‍ය දෙයක්.

අම්මා, අප්පච්චි, අයියා, කිරිඅම්මා, ෂැගී, චබී, චක්, කිරිඅම්මලාගෙ බල්ල ස්කිපී, මගෙ යාළුවෝ සහ තවත් ගොඩක් දේවල් ගැන කොහෙවත් නොලිව්වට මම තදින් හිතනව. මගේ වටේ ඉන්න අය ගැන ආදරණීය, උණුසුම් විදියට හිතන එක මට නතරකරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හුස්ම ගන්න එක නවත්තන්න මනුස්සයෙකුට පුළුවන්ද? ඒ වගේ තමයි..

රපුන්සල්ගෙ පුංචි රෝස පාට නහය වගේම, අම්මගෙ නිකටෙ තියෙන උපන් ලපය ගැනත් මම ආදරෙන් හිතනව. අප්පච්චිගෙයි, අයියගෙයි, මගෙයි තුන්දෙනාගෙම උරහිස වළගැහෙන එක ගැන ආදරෙන් හිතන විදියටම, රපුන්සල්ගෙ පිට මැද තියෙන කළු ලපය ගැනත් මම හිතනවා. මම ආදරය කරන කෙනෙක් නැතිවුණොත් දැනෙන දරුණු වේදනාවම රපුන්සල් නැතිවුණොත් මට දැනෙයි. ඒත් එහෙම කියල රපුන්සල් ගැන මට දැනෙන විදිය පාලනය කරගන්න එක විසඳුමක් කියල මම හිතන්නෙ නෑ.

හැම දෙයක් ගැනම ආදරෙන්, උණුසුම් විදියට හිතනකොට අමුතු වින්දනයක් තියෙනවා.. ඒ දේ නැතිවුනාම දැනෙන වේදනාව විඳින එකෙත් සුන්දරත්වයක් තියෙනවා. මනුස්සයෙක් හුස්ම ගන්නව, ජීවත් වෙනව කියල දැනෙන්නෙ එතකොටයි. මට ඒක කියල දුන්නෙත් අම්මයි අප්පච්චියි දෙන්නම තමයි.

රපුන්සල් නැතිවුණොත්, එයාගෙ සිනිඳු ලොම් කකුලෙ දැවටෙන්නෙ නැති වෙනකොට මට එයාව මතක් වෙලා දුක හිතෙයි. කීර වෙළෙන්දා කෑ ගහ ගහ උදේට යනකොට ගැස්සිල ඇහැරිල කංකුං ගන්න මම දුවයි. රපුන්සල්ගෙ දඟ වැඩ මතක් වෙලා කඳුලු  පිරෙයි. ඒත් ටික දවසකින් රපුන්සලුත් මීෂා, මිකී, ෂැඩෝ, චම් චම්, දුඹුරා වගේ ලස්සන මතකයක් වෙයි.





No comments:

Post a Comment