Tuesday, October 4, 2016

පුංචි ඉත්තෑවා, රපුන්සල් සහ ආත්මාර්ථකාමී මම..



මට මතකයි ඉස්සර මම "පුංචි ඉත්තෑවා" කියල පොතක් ආසාවෙන් කියවනවා. ඩෝ ඩෝ ජපන් ළමයෙක්. එයාට සීයාගෙ කොමඩු හේනෙදි පුංචි ඉත්තෑ පැටියෙක් හම්බ වෙනවා. පැණි කොමඩුයි තවත් පලතුරුයි කව කව ඩෝ ඩෝ හරිම ආදරෙන් පුංචි ඉත්තෑ පැටියව බලාගන්නවා. මේ අතරෙදි රටින් රටට සංචාරයේ යන ළමයි දෙන්නෙක් ඉත්තෑවාව හොයාගන්නවා. එයාලා ඉත්තෑවව අරන් ගිහින් ආදරෙන් හදනවා. මේ අතරෙ ඉත්තෑවා නැති වුණ බව හිතමින් ඩෝ ඩෝ දුක් වෙනවා. කොහොම හරි ඉත්තෑවාව හම්බ වෙනවා.. අනිතිමේදි ළමයි තුන්දෙනාම එකඟ වෙනවා ඉත්තෑවාව පරිසරයට මුදා හරින්න. මොකද ඉත්තෑවා අයිති සොබාදහමට නිසා.. ඊයේ වුණ සංවාදයක් නිසා මට හදිසියේම පුංචි ඉත්තෑවා මතක් වුණා.

"ඔයා හාවෙක් ගත්තද?" 
"ඔව්.. එයාගෙ නම රපුන්සල්. ෂෝක් නේ??"
"අනේ මන්දා.."
"ඇයි..?"
"මම අදහන ආගමේ හැටියටනං සත්තු හිරකරල තියාගන්න එක පවක්.."
"හ්ම්ම්.."
"අවුලක් නෑ.. ඔයාගෙ කැමැත්තනේ. මම නිකං කිව්වෙ මගෙ අදහස.. හා පැටිය හරි හුරතල් තමා.."

රපුන්සල් මගේ හා පැටියා.. එයා "මගේ" කියල කියන්න මට පුළුවන්ද? එයාට කෑම දෙන්නෙ මං. හුරතල් කරන්නෙ මං. එයාගෙ මළපහ අදින්නෙ මං. එයාව සතුටෙන් තියන්න පිස්සුවෙන් වගේ කැපවෙන්නෙ මං. ඒත් රපුන්සල් මගේ ද? ආදරේ පැත්තකින් තියල හොඳට කල්පනා කළොත් රපුන්සලුත් පුංචි ඉත්තෑව වගේම අයිති මට නෙමෙයි, සොබාදහමට..

රපුන්සල් හැදෙන්නෙ වැඩෙන්නෙ මගෙ කාමරේ ඇතුළෙ. එයා මගේ ළඟට එනකොට හිටිය වගේ තුන් ගුණයක් ලොකුයි දැන්. රපුන්සල් වේගෙන් වැඩෙනවා. ඉර එළිය දකින්නෙ නැතුව, තණකොල බිස්සක් උඩින් පුංචි කකුල් තියල දුවන්නෙ නැතුව, අනික් හා පැටව් එක්ක හති වැටෙනකං සෙල්ලම් කරන්නෙ නැතුව, පොළොවෙ වැවුණ උඳුපියලිය එයාගෙම දත් වලින් කඩාගෙන කන්නෙ නැතුව.. මම හදපු කෘතිම ලෝකෙ ඇතුළෙ එයා වේගයෙන් වැඩෙනවා.

කාමරේ මොප් කරන්න හැමදාම දොර ඇරියම, දොරට එපිටින් පේන අපූරු ලෝකය දිහා රපුන්සල් ඇස් දිලිසි දිලිසි ආසාවෙන් බලනවා මට පේනවා. ඒත් ඒ ලෝකෙට එයාව යවන්න පුළුවන් ද? මම මගෙන්ම අහනවා. එහෙම යැව්වොත් මගේ මැණික කෑම හොයාගන්නෙ කොහොමද? එයාට ඇති තරම් කන්න කංකුං තියෙයි ද? එහෙමත් නැත්තං රපුන්සල් වෙන කෙනෙකුගෙ කෑමක් වෙයිද? මෙහෙම හිතන මං මගේ රපුන්සල්ව ඕනෙම පලා වර්ගයක් කන්න පුළුවන් වීර හාවෙක් කරන්න තීරණය කරනවා.  

කීර වෙළෙන්දා ආවම කංකුං මිටියකුයි මුකුණුවැන්න මිටියකුයි ගන්නවා. කංකුං මිටිය පැත්තකින් තියල මුකුණුවැන්න මිටිය විතරක් රපුන්සල්ට කන්න දානවා. එයා කොළයක් දෙකක් කාල බඩගින්නෙ ඉන්නවා.. ඉවසන්න බැරි වුණාම මගෙ කකුලෙ ඇඟිලි හීනියට හපනවා. තවත් මගේ රපුන්සල්ව බඩගින්නෙ තියන්නෙ කොහොමද? මම ආපහු කංකුං මිටිය එයාට දෙනවා..

කවදහරි දවසක මම රපුන්සල්ව නිදහස් කරනවා. කොහොම හරි එලිමහනට එයාව පුරුදු කරන්න ඕනෙ. තණකොලවල සුවඳ විඳින්න දෙන්න ඕනෙ. මේ ලෝකෙ කොච්චර සුන්දරද කියල එයාට දැනගන්න අරින්න ඕනෙ.. ඇස් වලට කඳුළු උනද්දි මම හිතනවා.

ඒ මොහොතෙම, එයාගෙ රවුම් ඇස් වලින් මගෙ දිහා හොරැහින් බල බල රපුන්සල් මගේ ඇඟේ දැවටෙනවා.. "එයාව යවන්න එපා.." මගේ ආත්මාර්ථකාමී හිත මට කියනවා. මං එයාව යැව්වොත් එයා මොකෙක් හරි සතෙකුට අහුවෙලා මැරිල යයි. එක්කො කෑම හොයාගන්න බැරුව මැරෙයි. පුලුවන් තරම් කල් මාත් එක්ක හිටපුවාවෙ.. එහෙම හිතල මම කාමරේ දොර ලොක් කරනවා.


No comments:

Post a Comment