Tuesday, October 11, 2016

මං නැතිදා..

අද මගේ ඇඟට සනීප මදි. මුළු ඇඟම කෝච්චියකට හැප්පුණා වගේ රිදෙනවා. උදේ ඇහැරුණෙත් පරක්කු වෙලා. ඉතින් වැඩට ගියෙත් නෑ. රපුන්සල් කාමරේ මැද ඉඳගෙන මගේ දිහා බල බල ඉන්නෙ ඉස්සරහ කකුල් දෙක උස්සගෙන, කරදරයට පත් වෙච්ච මූණකින්. එයාගෙ චූටි නහය පිස්සුවෙන් වගෙ නලියනවා. බඩගිනිත් ඇති..

මම අමාරුවෙන් ඇඳෙන් බැහැල ගියේ එයාගෙ කංකුං මල්ල ගන්නයි. ඒ මල්ලෙ සද්දෙ රපුන්සල් හොඳට අඳුරනවා. තව මොහොතකින් කෑම ලැබෙන බව තේරිලා එයා එක පිට එක කරණම් ගහන්න ගත්තා.

කාමරේ අතුගාන්න නම් අද මට අමාරුයි. උදේ කෑමත් අමතක කරල මම ආයෙමත් ඇඳට වැටුණා. නින්ද කැඩිල ඇහැරෙන හැම වෙලාවකම කරදර මූණකින් මගේ දිහාටම ඇස් අලවගෙන ඉන්න රපුන්සල්ව මට පෙනුණා. මම ඇස් ඇරිය කියල දැකපු ගමන් රපුන්සල් ඉස්සිලා මගෙ දිහාවට ඉව කරනව. මමත් එහෙමම ඇඳෙන් ඉස්සිල එයාගෙ කෑම ඉවරද කියල  බැලුව. කෑම ගොඩකුත් ඉතුරු වෙලා තිබුණ.

වෙනද මගෙ අවධානය ගන්න කාමරේ පුරා දුව පැන ඇවිදල බඩු මුට්ටු පෙරලන රපුන්සල්, අද සද්ද නැතුව දවල් වරුවෙම අනිමිස ලෝචන පූජාවක් කලා. වෙන එකක් තියා "කරස් කරස්" ගාල කංකුං හපන එකවත් අද ඇහුණෙ නෑ. 

හවස් වෙද්දි මට ටිකක් අඩුවක් දැනෙන්න ගත්තා. ලැප් ටොප් එකත් දිගඇරල ඇඳ උඩ තියල මම බිම වාඩි වුණා. රේසින් කාර් එකක් වගේ මගේ දිහාට පිම්මෙ දුවගෙන ආපු රපුන්සල් නතර වුණේ මගෙ උකුලෙ එයාගෙ සුපුරුදු ආසනය උඩ. තවම කරදර මූණකින් ඉන්නෙ එයා. මම හෙමින් සැරේ එයාගෙ පිට අතගෑවා. එයා ඒකෙන් සැනසුණ බව පෙනුණා. දිලිසෙන ඇස් හෙමීට පියවුණා.
කවදහරි මට මුකුත් වුණොත් රපුන්සල්ට මොකද වෙන්නෙ? මගේ හිතට එක පාරටම ඒ ප්‍රශ්නෙ ආවා. රපුන්සල් හුරතල් පැටිය නිසා එයාව අපේ අම්ම හරි, නිලුපුලියා හරි ආදරෙන් බලාගනීවි. ඒත්.. රපුන්සල්ට මාව අමතක වේවිද? මම කල්පනා කලා.

ටික දවසක් යනකම් කරදර මූණක් ඇතුව එයා එහෙ මෙහෙ දුවයි. හැමදාම එයාට කෑම දුන්න, අත පත ගෑව, එළියට දුවනකොට සැරකරපු කෙනාව හොයන්න ගනියි. නිදාගන්නකොට මතක් වෙයි. කරන දඟ වැඩවලට අලුත් අයිතිකාරය සැර වැර කරනකොට මාව මතක්වෙලා දුක හිතෙයි.

ටිකෙන් ටික මගෙ පෙනුම, සුවඳ, කට හඬ එයාට මතක නැති වෙයි. හිටපු ගමන් කවුරුහරි මම එයාට කතා කරපු විදියට කතා කරනකොට මෙහෙම කෙනෙක් හිටියා නේද කියල මතක් වෙයි. 

එහෙම මතක්වෙනකොට මම එයාට ආදරෙන් සලකපු විදිය එයාට මතක තියෙනවට මම කැමතියි.







No comments:

Post a Comment