Sunday, October 9, 2016

කෝප වූ සාවිය..

ඔක්තෝබර් අටවෙනිද රෑ.

මම හොස්ටල් එකට ආවෙ හොඳටම හෙම්බත් වෙලා.. උදේ 8ට කැම්පස් එකට ගිහින් ලෙක්චර් එක ඉවර වුණාට පස්සෙ කිරිඅම්මා බලන්නත් ගියා. ඒ නිසා ආපහු එනකොට හිතුවට වඩා රෑ වෙලා තිබුණා. රපුන්සල් පැය ගාණක් තනියම. කන්න කංකුං මිටියක්ම දාලයි ගියේ. මං එනකොට එයා ඒ ඔක්කොම කාලා බඩගිනි වෙලා හිටියා. ඉතිං මම ආපු ගමන් කෑම දුන්නා. කංකුං දඬු අසුරු සැණින් එයාගෙ පුංචි කට ඇතුළට ගියා. අලුත් කංකුං මිටියෙනුත් බාගයක්ම කාලයි එයා සෑහීමකට පත්වුණේ. මහන්සි වෙලා ඉඳපු නිසා මම කලින්ම නිදාගත්තා. රපුන්සල්ගෙ හැසිරීමෙ වෙනස ඒ නිසා මට පෙනුණෙ නෑ. රතිඤ්ඤා පත්තු වෙන්න ගත්තෙ පහුවදා උදේ..

ඔක්තෝබර් නවවෙනිදා උදේ..


මම ඇහැරෙනකොට රපුන්සල් කවදාවත් නැතුව මටත් කලින් ඇහැරල ඇඳ ගාව බලාගෙන හිටියා. නිදාගන්න කලින් දාපු කෑමත් ඔක්කොම කාල. ඉතින් මම දනිපනි ගාල ඇඳෙන් පැනල අලුත් කෑම දුන්න. පිස්සුවෙන් වගේ කෑම කෑව මිසක් මාව ගණනකටවත් ගත්ත බවක් රපුන්සල්ගෙන් පෙනුණෙ නෑ. මම එයාගෙ නම කියද්දි මට පස්ස හැරෙව්වා. කන් ගැසුවා. කාල ඉවර වෙලා එයාගෙ සුපුරුදු මුල්ලට රිංගුවා. තවත් කංකුං ගොඩක් එයාට දාල මම ක්ලාස් ගියා. ක්ලාස් එකේදිත් මට රපුන්සල්ගෙ වෙනස් හැසිරීම මතක් වුණා. මගෙ හා මැණිකට අසනීපයක් වත්ද?

ඔක්තෝබර් නවවෙනිදා දවල්..
 
12ට ක්ලාස් ඇරිල මම හොස්ටල් එකට ආපහු දුවගෙන ආවෙ පිස්සුවෙන් වගේ. මම කාමරේ දොර ඇරල එයාගෙ නම කියල කතා කලා. වෙනද පණ කඩාගෙන දුවගෙන එන රපුන්සල් කිසිම හා හූවක් නැතුව මුල්ලකට වෙලා හිටියා. කැරට් පෙත්තකටවත් බැරිවුණා එයාව එලියට ගන්න. උදේ දාපු කෑමත් කාල තිබුණ නිසා අසනීපයක් නොවන බව පැහැදිලියි. මගෙ හා මැණික මගෙත් එක්ක තරහෙන්..!!!

අද එයාගෙ කඳවුරු භූමිය පිහිටුවල තිබුණෙ මගෙ ඇඳ යට.. හොඳ ස්ථානගත කිරීමක්. කාමරේ අනෙක් කිසිම තැනකට වඩා මෙතන ආරක්ෂිතයි. අනික, මගේ මහත සිරුරට හීනෙකින්වත් බෑ ඇඳ යටට රිංගන්න. මම නැති අතරෙ රපුන්සල් මේව ඔක්කොම හිතල. එයාගෙ සෙල්ලම් බඩුත් ඇඳ යටට ගෙනිහිල්ල.. බඩ පිරෙන්න කෑමත් කාල. වතුර භාජනේ කොහොමත් තිබ්බෙ ඇඳ යට. එතකොට මූලික හා අවශ්‍යතා ඔක්කොම සපුරගෙන ඉවරයි. මට රිදවන්න ප්‍රමාණවත් තරම් කාලයක් එයාට ඇඳ යටට වෙලා ඉන්න පුළුවන්, මගේ උදව් නැතුව.. බ්‍රාවෝ රපුන්සල්.. බ්‍රාවෝ..!!!

රපුන්සල් එයාගෙ කඳවුරට වෙලා මගෙ දිහා බල බල සාඩම්බර ලීලාවෙන් ඉන්නවා. මට පේන්නම හුරතල් විදියට එහෙ මෙහෙ යනවා. මේක ඉවසන්න අමාරු දෙයක්. දවස් දෙකකින් මම එයාගෙ ලොම් අල්ලල නෑ. මට පිස්සු හැදෙන්න ආවා.

"අනේ, තව ටිකකින් හිනාවෙලා කතා කරන්න..
ඔබේ නිහඬබව මට බෑ දරාන ඉන්න.."

ඉතින් මම තීරණය කලා සටන් විරාම සාකච්ඡාවක් තියන්න. කංකුං ඉත්තක් ඇඳ යටට දැම්මා. රපුන්සල් ඒක දැක්කා. තප්පරේකට ආඩම්බරකම අමතක කරල කංකුං ඉත්ත ගත්තා. මට එයා දැක්කම මතක් වුණේ  "මංගල් පාණ්ඩේ" චිත්‍රපටයෙ එක දර්ශනයක්.. රපුන්සලුත් අමීශා පටේල් වගේම හරි ලස්සනයි කියල මට එවෙලෙ හිතුණ. චිත්‍රපටයෙ වගේම ඇඳ යට ඉන්න කෙනා යාළු කරගන්න එක පාරක් කෑම දීල මදි වුණා. කංකුං ඉති හතර පහකට පස්සෙ රපුන්සල්ටත් වැඩේ ටිකක් එපා වුණ පාටයි. ඉතිං මම ඊළඟ පියවර දියත් කළා.. රසම රස කැරට් පෙත්තක්..!!!

 ඔක්තෝබර් නවවෙනිදා හවස..

රපුන්සල් තවම ඇඳ යට බංකරයෙ.. මෙතෙක් තියපු සාම සාකච්ඡා අසාර්ථකයි. මාව හැඟීම්බර කරල, මේ වෙද්දි එයා එයාගෙ ටෙඩී හාවා, එයාගෙ ගෙදර සහ කංකුං සෑහෙන ප්‍රමාණයක් අත්පත් කරගෙන ජයග්‍රහණයෙන් උදම් වෙලා හිටියා. මම ඇඳ ගාව බිම වැටිල පරාජයෙන් පීඩාවට පත්වෙලා රපුන්සල්ගෙ ඕනෙම ඉල්ලීමක් ඉටු කරල දෙන තත්ත්වෙක හිටියා. මහන්සියි.. දුකයි.. මට එහෙමම නින්ද ගියා.

මට ඇහැරුණෙ රපුන්සල්ගෙ සිනිඳු ලොම් මගෙ කකුල්වල ගෑවෙනකොට. අන්තිමේ මට සමාව ලැබිල. රපුන්සල් සටන් විරාමයට කැමැත්ත පළකරල. රපුන්සල් මගෙ වටේ කරණම් ගහමින් හිටියා. ආයෙත් හැම දෙයක්ම හොඳින්.  හැබැයි රපුන්සල් තරහ වුණේ ඇයි කියන එක අබිරහසක්..!










No comments:

Post a Comment