Saturday, November 12, 2016

නාඳුන්න පුංචි මනුස්ස ප්‍රාණියා

රපුන්සල් කැරට් කන්න ආසයි. කැරට් අලය ලැබුණු හැටියෙ එයා ඒක කාගෙන කාගෙන යන්නෙ කවුරුහරි එයාගෙන් ඒක උදුරාගනීවි කියල බයෙන් වගේ. කැරට් අලය හපනකොට, ඒකෙ රළු කොණක් හැම වෙලාවෙම රපුන්සල්ගෙ නහයෙ වදිනවා. මේ විදියට හැමදාම වෙලා, රපුන්සල්ගෙ නහය තුවාල වෙලා. එයා ඉන්නෙ වේදනාවෙන්..

රපුන්සල්ගෙ අසරණකම ගැන ගෙදර හැමෝටම දුකයි. ඉතින් එයාවත් කූඩෙක දමාගෙන අම්මයි මායි තකහනියක් ගියේ වෙට් කෙනෙකුට පෙන්නලා බෙහෙතක් ගන්නයි. වෙට් ක්ලිනික් එක තියෙන්නෙ පලතුරු කඩේකටයි, පොත් කඩේකටයි මැද්දේ. රපුන්සල්වත් තියාගෙන අම්මයි මායි එතන තිබුණ පුටු දෙකක වාඩි වෙලා බලාගෙන හිටියෙ වෙට් එනකං.

කූඩෙ ඇතුළෙ ඉඳගෙන රපුන්සල් එයාගෙ ලොම් පීරමින් හිටියෙ හරිම සන්සුන් ලීලාවෙන්. එක කණක් නවල අරගෙන, පුංචි අත් දෙකෙන් අල්ලලා සෝදනවා. ඊට පස්සෙ අනිත් කණ.. අපේ අම්මා මට එහා පැත්තෙන් ඉඳගෙන කල් මැරුවෙ, හැමදාම වගේ පොතක් කියවමින්. මට පොතක් අරන් එන්න අමතක වුණා. ඒ නිසා මගේ අවධානය යොමු වුණේ පලතුරු කඩේට අල්ලලා හදල තිබුණ ප්ලාස්ටික් බඩු කඩේ හිටපු පොඩි බබෙකුටයි.

කොළ පාට ටී ෂර්ට් එකකට, තද නිල් ඩෙනිම් කොට කලිසමක් ඇඳපු ඒ බබාට අවුරුදු දෙකක් විතර ඇති. අත් දෙක පිටිපස්සට බැඳගෙන, කඩේ ඉස්සරහ වැලි පොළොවෙ එහෙ මෙහෙ යන්නෙ කඩිසර ගමනින්. අත් දෙක පස්සට බැඳගෙන ඉන්න පුරුද්ද එයාට එන්න ඇත්තෙ තාත්තාගෙන්. එහෙ මෙහෙ දුව පනින ගමන් එයාගෙ දිලිසෙන පුංචි ඇස් අවට හැම දෙයක්ම වේගෙන් ග්‍රහණය කරගත්තා. එක පාරටම එයා රපුන්සල්ව දැක්කා.

රපුන්සල්ව දාලා හිටපු රෝස පාට කූඩෙ දිහා එයා ඇස් පුංචි කර කර බැලුවෙ සැකයෙන්. මේ ටවුම මැද්දෙ හාවෙක් ඉන්න එක එයාට පුදුමයක්. මේ ඇත්ත හාවෙක් ද? ටෙඩී හාවෙක් ද? එයා උනන්දුවෙන් බැලුවා. කූඩුව ඇතුළෙ රපුන්සල්ගෙ චලනය වීම්, ටිකෙන් ටික එයාගෙ සැක සංකා නැති කලා. මේ ඉන්නෙ ඇත්ත හාවෙක් කියලා තහවුරු වුණාට පස්සෙ එයාගෙ ඊලඟ ඉලක්කය වුණේ හාවා ළඟට කිට්ටු කිරීමයි.

හාවාව ඇස ගැටෙන්න කලින් එයාලගෙ ප්ලාස්ටික් බඩු කඩේ මිදුලෙ වෘත්තාකාර චලිතයක යෙදුණු බබාගෙ කඩිමුඩි ගමන, ටික ටික ඕවලාකාර චලිතයක් බවට හැරුණා. දැන් එයාගෙ ගමන් මඟ වැටිල තියෙන්නෙ ප්ලාස්ටික් බඩු කඩේ පහුකරගෙන, පලතුරු කඩේ ඉස්සරහින්. පාරෙ එක කොණක් හාවා ඉන්න කූඩුව ඉස්සරහින් වැටෙනවා. එතනදි මොකක්දෝ අදිසි බලයකින් ගමනේ වේගය අඩාල වෙනවා. බබා එතනින් යන්නෙ ඉබි ගමනකිනුයි..

මෙහෙම යන එක ගමන් වාරයකදි, පෙට්‍රල් ඉවර වෙලා මම හිතන්නෙ.. බබාගෙ ෆැන්ටසි මෝටර් රථය හාවා ඉස්සරහදි දඩස් ගාලා නතර වුණා. ආපහු ස්ටාට් කරන්න හැදුවත් හරි ගියේ නෑ.

"මොකද වාහනේට?"
මම ඇහුවෙ උදව් කරන්නයි.

"අනේ මන්දා. එක පාරට නතර වුණා."
පුංචි රියදුරු මහත්තයා කිව්වා.  ඊට පස්සෙ රපුන්සල් දිහාට ඇස් හරවලා.
"මොකද හාවට?" කියල මගෙන් ඇහුවා.

"අනේ එයාගෙ නහය තුවාල වෙලානෙ.. බෙහෙත් ගන්න ආවෙ."
මම දුකෙන් කිව්වා.

"හ්ම්ම්.. ඩොක්ට ආවා." බබා අත දික් කරලා පෙන්නුවේ සත්ත්ව සායනයට ටිකක් ඈතින් තියෙන ළමා රෝග සායනයයි.
"මට ලෙඩ වුණාම යන්නෙ එතනටයි."

"මෙයාව පෙන්නන්න වෙන්නෙ මේ ඩොක්ටට නෙ."
මම සත්ත්ව සායනයෙ දොරේ ගහල තිබ්බ පෝස්ටරේ හාවෙකුගෙ රූපය බබාට පෙන්නුවා.

"ඕහ්.." ඒක වැටහුණ පාටක් බබා ඇඟෙව්වා.
නහය තුවාල වෙලා අමාරුවෙන් ඉන්න රපුන්සල් ගැන ඒ බබාත් හදවතින්ම දුක් වෙන බව පේන්න තිබුණා.

ටිකෙන් ටික වෙලාව ගතවෙනකොට එදා වෙට් එන්නෙ නැති බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් අම්මයි මමයි ලෑස්ති වුණේ ආපහු ගෙදර එන්නයි. රපුන්සල් ගැන කණගාටුවෙන් හිටපු බබා ආයෙමත් අපේ ළඟට ඇදුනා.

"යනවද? එතකොට හා බබාට බෙහෙත්?"
එයා ඇහුවෙ කරදර මුහුණකින්..

"ඩොක්ට නෑනෙ. වෙන දවසක එනවා.." මම කිවුවා.

"ඕහ්.." බබාත් ගොඩක් දුක්වුණා.

අපි යන්න හදනකොට බබා යමක් කියන්න උත්සාහ කරන බව කිව්වෙ අපේ අම්මා.
අපිට වටහාගන්න අසීරු වචන කෑලි ගොඩක් සහ අංග චලන වලින් මට තේරුනෙ මෙහෙම දෙයක්..

"ඊයෙ මටත් ලෙඩ වුණා. එතකොට අම්මා බෙහෙත් පෙත්තක් පෙව්වා. ඊට පස්සෙ නිදාගත්තම මට හොඳ වුණා. ඔයාත් හාවට ඒවා දෙන්න."

මේ අදහස වචන වලට පෙරල ගන්න එයාට බැරි වුණා. ඒක ගැන එයා හිටියෙ ලොකු හිතේ කරදරේකින්. එයාගෙ ඇඟේ හැම සෛලෙකම පේන්න තිබුණ අසීමිත කරුණාව මට දැනුණා. මොකක්ද මන්දා නොකිලිටි නැවුම් ආදරයක් ඒ බබාගෙ හැම හැසිරීමකම පිරිල තිබ්බා. දවසක් ගතවෙලත් මට ඒ බබාගෙ හැම අංග චලනයක්ම මතකයි. එයාව දැක්කම මට මතක් වුණේ අපූගේ ලෝකය පොතේ අපූගෙ පුතාව.. රපුන්සල්ට, මේ දැන් එයා නාඳුන්න පුංචි මනුස්ස ප්‍රාණියෙකුගෙ අසීමිත ආදරේට ලක්වුණ බව දැනුම් දෙන්න බැරි වීම ගැන පසුතැවීමක් එක්ක මම ආපහු ආවා.

No comments:

Post a Comment