Saturday, October 15, 2016

සුවඳ පිරුණු පුංචි කාමරේ..

දිග කන්ටේනර් එකක පිටිපස්සට පොඩි බිල්ඩින් බ්ලොක් එකක් හයි කෙරුවම පේන හැඩේට හදල තියෙන අපේ ගෙදර, නිදන කාමර හතරයි. ලොකු ඒවා තුනයි. එකක් අපේ අයියට, එකක් අම්මටයි අප්පච්චිටයි, අනිත් එක පොඩි අත්තට. පුංචි නිදන කාමර එකයි. ඒකෙ ඉන්නෙ මමයි. 

කිරිඅම්මා අපේ ගෙදර ආවම නිදාගන්නෙ මගේ කාමරේ. ඒ නිසා මේ කාමරේ ඇඳන් දෙකයි. රත්තරන් පාට කැරළි ගැහුණු කොණ්ඩයක් තියෙන පොඩි ගෑනු ළමයගෙයි, වලස්සු තුන්දෙනාගෙයි කතන්දරේ වලස් පැටිය නිදාගන්න ඇඳ වගේ මේ ඇඳන් පොඩියි. ඒවා හැදුවෙ අප්පච්චි. අප්පච්චිට හැම වැඩක්ම පුළුවන්. අපේ ගෙදර වතුර මෝටරේ කැඩුනම හදන්නෙත් අප්පච්චි. මිදුලෙ ගල් වැටි අල්ලලා ලස්සන ලස්සන ගස් හිටවන්නෙත් අප්පච්චි. මැෂින් එකෙන් තණකොළ කපන්නෙත් අප්පච්චි. ටැප් හයි කරන්නෙත් අප්පච්චි. මාව ක්ලාස් ගිහින් දාන්නෙත් අප්පච්චි. වේවැල් පුටු දිරුවම ඒව අලුතෙන් වියන්නෙත් අප්පච්චි. ඕනෙම ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවට මගෙ උපදේශකයත් අප්පච්චි. ඒ විතරක් නෙමෙයි, අපේ ගෙදර ප්ලෑන් එක ඇඳල තියෙන්නෙත් අප්පච්චි.

මගෙ පුංචි කාමරේට දාල තියෙන්නෙ ලී ජනේල. ඒ නිසා නිවාඩු දවසට ඇති වෙනකම් නිදාගන්න පුළුවන්. ජනෙල් වැහුවම දැනෙන්නෙ රෑ වගේ. සමහර දවස්වලට මම හිම වලහෙක් කියල හිතාගෙන පැය දහයක් දොළහක් එක දිගට නිදාගන්නේ මගේ පුංචි කාමරේ තියෙන මේ මැජික් එකට පින් සිද්ධ වෙන්නයි. 

ගෙදර අනෙක් කාමර වලට වඩා මගේ කාමරේ සීතලයි. සිසිලයි. කාමරේ බිම නිදාගෙන පොළොවට කණ තිබ්බම කුස්සියේ අම්ම කතාකරන සද්දෙ ඇහෙනවා. ඒකට හේතුව මොකක්ද කියල මම පොඩි කාලෙ ඉඳන්ම කල්පනා කරනවා.

රපුන්සල් ගෙදර ගෙනාවට තවම එයාගේ කූඩුව ලෑස්ති නෑ. ඉතින් ටික දවසක් යනකම් එයාට ඉන්න වෙන්නෙ මගේ මේ පුංචි කාමරේ ඇතුලෙයි. එයා අපේ ගෙදරට පයගහපු ගමන්ම, එයාගෙ බඩු මුට්ටු ඔක්කොම මගේ කාමරේ ස්ථානගත කලා. රෝස පාට ලිටර් බොක්ස් එක තිබ්බෙ දොර ගාවම මුල්ලෙ.. එයාගෙ නිල්පාට ටෙඩී හාවයි, ගෙම්බයි කාමරේ මැද.. කහපාට වතුර කෝප්පෙ නිතර පෙරලගන්න නිසා ඇඳ ලඟ තියන පොඩි කනප්පුව යටින් තිබ්බා. තව එයාගෙ රෝස පාට නැප්කින් එක ඇඳ යට එලුවා. කංකුං, කැරට් ආදී කෑම බීම ඇඳ පාමුළ. රෝස පාට කූඩෙ ඇඳට හේත්තු කරල බිම. රපුන්සල්ගෙ බඩු කාමරේ තිබ්බම මගෙ කාමරේ පේන්නෙ පොඩි බබෙක් ඉන්න තැනක් වගේ.

හොස්ටල් එකේ කාමරේ වගේ නෙමෙයි මෙතන. අහුමුළු කෝටියක් විතර තියෙනවා.  රෝස පාට කූඩෙන් අරන් එළියෙන් තිබ්බ විතරයි, රපුන්සල් හැම තැනම දුව දුව ඉව කරන්න ගත්තා. කාමරේ හැම බිම් අඟලකම එයාගෙ සුවඳ තැවරුවා. කාමරේ තියෙන හැම බඩු මුට්ටුවක්ම එයාගෙ පුංචි හොම්බෙන් පරික්ෂා කරල මෙතන එයාට ආරක්ෂිතයි කියල නිගමනයකට ආවා. මගේ හොස්ටල් කාමරේදි වගේම මෙහෙදිත් රපුන්සල්ගෙ ප්‍රියතම තැන වුණේ මගේ ඇඳ යට.

මෙච්චර කාලයක් මගෙ වාසභවන වෙලා තිබුණ පුංචි කාමරේ අද ඉඳල රපුන්සල්ගෙ සුවඳ පිරුණු පුංචි කාමරේ වෙනවා.





No comments:

Post a Comment