Monday, October 3, 2016

සුවඳ ගහන කැරට්..

හාවෙක් ගෙනාව කිව්වම හැමෝම අහන්නෙ "මොනවද එයා කන්නෙ? කැරට් ද?" කියල.. රපුන්සල් ගෙනල්ල දෙවෙනි දවසෙ මම එයාට කැරට් අලයක් ගෙනාවා. කීල්ස් එකේ තඩි කැරට් ගොඩෙන් තෝරල තෝරල, රපුන්සල් වගේම හුරුබුහුටි තැඹිලි පාට කැරට් අලයක්. 
කාටුන් වල දැකල තියෙන්නෙ හාවො කැරට් අල පිටින් ආසාවෙන් කන හැටිනෙ. ඉතින් මමත් දුන්නා කැරට් අලේම.. හ්ම්ම්.. ගාණක්වත් නෑ. චුට්ටක් ඉව කරල උදේ ඉතුරු වෙච්ච කංකුං දණ්ඩක් හප හපා හිටියා.

"සමහරවිට දත් හයිය මදි ඇති හපල කන්න.." මෙහෙම කිව්වෙ නිලුපුලියා.

"බලමුකො.." මමත් පිහිය අරන් කැරට් රෝද රෝද කැපුවා. අපේ අම්ම කැරට් උයන්නෙ රෝද රෝද කපල.. හැබැයි මම රපුන්සල්ට දෙන්න කැරට් කැපුවෙ පොත්ත පිටින්මයි. 

පිහි තලේ කැරට් අලය විනිවිද යනකොට හරි අපූරු සුවඳක් පැතිරෙන්න ගත්තා. කාමරේ පුරාම.. නැවුම්, මිහිරි එළවළු සුවඳක්..
"හ්ම්ම්.. සුවඳයි" නිලුපුලියා කියද්දි මමත් පෙනහළු පිරෙන්න කැරට් හුස්මක් ගත්තා.

රපුන්සලුත් එයාගෙ චූටි නහය පිස්සුවෙන් වගේ හොලවන්න ගත්තා. ටිකකින් ඉස්සරහ කකුල් දෙක උස්සල බාගෙට හිටගෙන කොහෙන්ද සුවඳ එන්නෙ කියල විපරම් කරන්න හැදුවා.ඒ ගැම්මටම උඩ පැනල "හා කරණමක්" ගහපු හින්දා මමත් කැරට් පෙත්තක් රපුන්සල්ට දුන්නා. ඒක තෙතයි. සුවඳයි.

රපුන්සල් මොහොතක් සැකයෙන් බලාගෙන ඉඳල ඉස්සරහ දත් වලින් කැරට් පෙත්ත හීනියට හැපුවා. "ම්ම්ම්.." තව මොහොතක් මුකුත් සිද්ධ නොවී ඔහේ ගෙවිල ගියා. නිලුපුලියායි මමයි අපේ බලාපොරොත්තු කඩවීම සුසුමක් කරන්න හදනකොටම රපුන්සල් එකපාරටම කැරට් පෙත්ත මගේ අතින් උදුරගෙන කාගෙන කාගෙන ගියා.

දැන් එයා දවසකට කැරට් අලයක්ම කනවා. "හාවට කැරට් දෙන එක හොඳ නැද්ද?" වෙට් හම්බවෙන්න ගිය වෙලාවෙ මම ඇහුවා. "දවසකට එක අලයක් දුන්නට කමක් නෑ." වෙට්ගෙ උත්තරේ..

ඉතින් ඔන්න ඔහොමයි සුවඳ ගහන කැරට් රපුන්සල්ගෙ ප්‍රියතම ආහාරය වුණේ..!!!


No comments:

Post a Comment