Monday, October 10, 2016

සොඳුරු කරදර හිරිහැර..

මම රපුන්සල්ව ගෙනාවට එයාව තියාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. වැඩ කෝටියයි. දණගාන වයසෙ පොඩි බබෙක් ගෙදර ඉන්නව වගේම තමයි. කල්පනා කරල බැලුවම බබෙක් හදන එක ලේසියි රපුන්සල් බලාගන්නවට වඩා.. මොකද, බබෙක් නම් වයස යද්දි එයාගෙ වැඩ තනියම කරගන්න පුරුදු වෙනවා. ඒත් රපුන්සල්ට එහෙම බෑනෙ. හැමෝම අහන්නෙ, "ඇයි ඔයා ඔච්චර කරදර විඳින්නෙ මේ සතෙක් ගෙනල්ල" කියලයි. මේ සටහන රපුන්සල්ගෙ කරදර හිරිහැර ගැනයි.

මෙහෙම හිත හිත ටයිප් කරනකොට රපුන්සල් විදුලි වේගයෙන් පැනගෙන පැනගෙන ඇවිත් කරණමකුත් ගහල ආවෙ ලැප්ටොප් එක උඩට.. රපුන්සල් කොහේ ගියත් එයාගෙ ගමන් මාර්ගය වැටෙන්නෙ මගේ ඇඟ උඩින්.. මිලි තප්පරේකට හරි මගේ ඇඟේ ඇතිල්ලෙන විදියට තමයි එයා දුවන්නෙ. එහෙම කිරීමෙන් එයා සතුටෙන් පිනා යනව කියල මට තේරෙනව. කීප වතාවක් ඒ විදියට එහෙ මෙහෙ දුවල හිටිහැටියෙම එයා බ්‍රේක් කරනව මගෙ උකුල උඩ. ඒක කපටි වැඩක්.. හෙමින්ම උකුලෙ නිදාගන්න තමයි ඔය උපාය..

මගෙ කකුල දිගේ සමබර වෙවී රපුන්සල් උකුල උඩට එනවා. වැටෙන්න යන හැම වෙලාවෙම මගෙ කකුල බදල අල්ලගන්නෙ අත් දෙකෙන්, දිග නියපොතු විහිදල. රපුන්සල්ට කකුල දිගේ උඩට එන ගමනට ගොඩක් වෙලා යනව. වටපිට බල බල කල්පනා කර කර එන නිසා. කෝච්චියෙ ගෙදර යනකොට, රඹුක්කන ස්ටේෂන් එකට මීටර් සීයක් විතර තියෙද්දි සිග්නල් නැතුව කෝච්චිය නතර කරනව වගේ ගමනාන්තය ඔන්න මෙන්න කියල තියෙද්දි මඟ නතර වෙලා රපුන්සල් හති අරිනව.

අන්තිමේදි කොහොමහරි උකුල උඩ හරි බරි ගැහිල නිදාගන්නව. එයා නිතරම තෝරගන්නෙ දණිස්සට පොඩ්ඩක් ඉහලින් තැනක්. එතකොට දණිස්ස උඩින් එයාගෙ පස්සෙ කකුල් දාන්න පුලුවන්. අම්ම ලෙඩ වෙලා හිටපු දවස්වල අප්පච්චිගෙ කකුල උඩ මම නිදාගත්තෙත් රපුන්සල් ඉන්න ඉරියව්වෙන්.. එතනමයි. ඒ නිසා මම දන්නව එහෙම ඉන්නකොට කොච්චර සැපට නින්ද යනවද කියලත්. ටිකකින් මගෙ කකුල හිරිවැටිල චුට්ටක් රිදෙන්න ගන්නව. ඒත් කකුල චුට්ටක්වත් හොලවන්නෙ නෑ. රපුන්සල් ඇහැරෙන නිසා. අවුරුදු විස්සකට කලින් අප්පච්චිත් මේ විදියටම කකුල හොලවන්නෙවත් නැතුව ඉන්න ඇති, මම ඇහැරෙන නිසා..

හොඳ නින්දක් නිදාගත්තට පස්සෙ රපුන්සල්ට බඩගිනි වෙලා.. පුංචි නහය හොලවල ඉව කරන්නෙ කෑම හොයන්නයි. කංකුං ඉවර බව දැනගත්ත රපුන්සල් මගේ අතේ ඇඟිලි හීනියට හපනව. එයාගෙ දත් කතුරක් වගේ. තදින් හැපුවම තුවාල වෙනව. ටිකක් නපුරු වුණාට සොඳුරු හිරිහැරයක්.. උදේ ගෙනාපු කංකුං මිටියෙ අන්තිම ටික රපුන්සල්ට කන්න දාල මම ඉක්මණට ඉක්මණට ඩෙනිම් එක අඳින්නෙ තව කංකුං මිටියක් ගේන්න යන්නයි. ඩෙනිම් එක අඳින්නෙ ගමනක් යන්න කියල රපුන්සල් දන්නව. කන එක පැත්තක දාල පණදාගෙන කලිසමේ වාටිය හපන්නෙ යන එක නවත්තන්නයි.

දුවගෙන වගේ ගිහින් කංකුං මිටිය අරන් ආපහු එනකොට රපුන්සල් කාමරේ පුරාම හා බෙටි දාල. එක හුස්මට මම දුවන්නෙ කොස්සයි මොප් එකයි ගේන්න. දඩි බිඩි ගාල මොප් කරද්දි රපුන්සල් තෙත වතුර ගොඩ පාගගෙන එහෙ මෙහෙ යන්නෙ සාඩම්බර ලීලාවෙන්. කාමරේ කොච්චර ඉඩ තිබුණත් එයා කකුල් ගස ගස දඟලන්නෙ වතුර ගොඩ උඩමයි. මොප් කරපු පොළොව උඩ පුළුන් ගුළියක් වගේ එයා යන්නෙ මඩ පාටට හා අඩි ඉතුරු කරල..

දොර ඇරපු ගමන් මගෙ පස්සෙන් වැටිල කාමරෙන් එළියට දුවන රපුන්සල් ආයෙත් පැයකටවත් ඇතුළට නම් එන්නෙ නෑ. අල්ලන්නත් ලේසි නෑ. කෑම මේසෙ යටින්, පුටු අස්සෙන් දුවන්නෙ කරණම් ගහමින්..

දවස අවසානයේ හැමෝම නිදාගන්න ලෑස්තිවෙලා හිටියත් රපුන්සල්ගෙ හිතකවත් නෑ නිදාගන්න. කාමරේ මැදට වෙලා, ඇස් දිලිසි දිලිසි බලාගෙන ඉන්නෙ සෙල්ලම් කරන්නයි. රෑ මැදදි ලී ඉරනව වගේ සද්ද බද්ද ඇහිල ඇහැරල බලනකොට රපුන්සල් එයාගෙ කාඩ්බෝඩ් ගෙදර පෙරලල ඒකෙ දොර කනව. එළි වෙනකම්ම ඇහෙන "කරස් කරස් කරස් කරස්" සද්දෙ මට මතක් කරවන්නෙ හාපර් ලීගෙ To kill a mocking bird පොතේ බූ රැඩ්ලි බඩගිනි වුණාම ලේනුන්ව පූසොන්ව කන එක. රපුන්සල් එයාට මහන්සි දැනෙනකම්ම දොර කන එක නතර කරන්නෙත් නෑ, කංකුං තියා කැරට් දුන්නත්..

ඉතින් මේ ඔක්කොම කරදර විඳින්න මම රපුන්සල්ව ගෙනාවෙ ඇයි? උත්තරේ සරලයි. ඒ කරදර විඳින එකේ ආශ්වාදයක් තියෙන නිසා. කොටින්ම, උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් රෑ නින්දට යනකම්ම, සමහර වෙලාවට නිදාගෙන ඉන්න අතරමැදදිත්, සිහිනෙනුත් කරදර හිරිහැර කරන ප්‍රාණියෙක් ඉන්න එකේ වින්දනයක් තියෙන නිසා. ඒ හැම කරදරයක්ම සොඳුරු නිසා.






No comments:

Post a Comment