Wednesday, October 5, 2016

ස්කිපරිනා, මඳ සිනා පාමිනා.. දුව එනා වල්ගෙ වන වනා..

ඉර බහින වෙලාවට අහස එක එක පාට වෙන එක හරි පුදුමයි.. හවස හතරට විතර නිල් පාටයි. හතර හමාරට කහ පාටයි. පහට රත්තරන් පාටයි. පහ හමාරට තැඹිලි පාටයි. හයට තද රෝස පාටයි. හය හමාරට රතු පාටයි.

මම කැමතිම තද රෝස පාට වෙලාවට.. එතකොට අහස පේන්නෙ රෝස පාට ෂුගර් කැන්ඩි වලින් වැහිච්ච රසම රසම රස ලෝකයක් වගේ. අර සත්තු වත්තෙ එහෙම විකුණන්න තියෙන රෝසපාට පුළුන් වගේ සීනි වලින් හදන ජාතිය.. ඒව කෑවම නිකං වළාකුළු කෑව වගේ සතුටක් දැනෙනව.. 
බැරිවෙලාවත් කවුරුහරි කවදහරි දවසක රෝස පාට වළාකුලක් කෑවොත් එයාට ෂුගර් කැන්ඩි රස දැනෙයි කියල මට හිතෙනව.. එහෙමත් නැත්තං සුදු පාට වළාකුලක් කෑවොත් වැනිලා හිම කිරමක් කෑව වගේ දැනේවි.. තැඹිලි පාට වළාකුලක් කෑවොත්.. පැණි වළලු රස? නැත්තං තැඹිලි පාට බන්ටි ටොෆි රස? 
මම ඉර බහින හැටි බල බල කිරිඅම්මලගෙ ගෙදර බැල්කනියෙ ඉන්නකොට ස්කිපී (එයාලගෙ ගෙදර බලු පැට්ටා) එතනට ඇවිත් එයාගෙ තෙත හොම්බ මගෙ දණිස්සට තියාගෙන මගේ දිහා බලන් ඉන්නව.. අහස දිහා බලන් ඉඳල ස්කිපී දිහා බලද්දි හරි අමුතුයි.. එයා ඇහිපිය ගහන ඩිංගට මම අතුරුදහන් වේවි කියල හිතල වගෙයි බලන්නෙ මගෙ දිහා.. 
එයාගෙ කලු පාට ලොකු ඇස්, රවුම්.. පැන්සලෙන් අඳින බල්ලෙකුගෙ සිතුවමක ඇස් දෙකක් වගේ හරියටම රවුම්.. ඒත් මම අඳින කිසිම චිත්‍රෙක ස්කිපීගෙ ඇස් වල තියෙන හැඟීම් මට පේන්නෙ නෑ. 
බල්ලෙක් මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න හොඳ නැහැ.. එතකොට ඒ මනුස්සය හරිම අසරණ තත්වෙකට පත්වෙනව.. මම කැමතියි ස්කිපී මාව තඹ සතේකට මායිම් නොකර, මගේ දිහා බලන්නෙවත් නැතුව, මට හෙණ ගැහුවත් කමක් නෑ කියල එයාගෙ පාඩුවෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න ආත්මාර්ථකාමී බල්ලෙක් වෙනවනං..ඒත් මම ස්කිපීව දාල යනකොට එයා අමාරුවෙන් නැගිටල මගෙ පස්සෙන්ම එනව.. ඒ ඇවිත්, ආයෙමත් එයාගෙ ආදරේ පිරිච්ච තෙත ඇස් වලින් මගේ දිහා බලන් ඉන්නව.. ඔව්, එයා දැන් වයසයි. ගොඩක් වයසයි. 

රතු පාට ගිනි බෝලයක් වගේ තිබ්බ ඉර බැහැල ගිහින් මට ස්කිපීගෙ ඇස් පේන්නෙ නැති ගානට කළුවර වැටෙනව.. මම ස්කිපීව තද කරල බදාගන්නව.. කළුවරේ වුණත් මට ස්කිපීගෙ හදවතේ, අර අහසෙ තිබිච්ච ලස්සන පාට ඔක්කොම තියෙනව දැනෙනව.. ඒ පාට ලස්සන වැඩියි, ඇස් නිලංකාර වෙන තරමට..මගේ හදවත ස්කිපීගෙ තරම් වර්ණවත් නැති එක ගැන මට මගේ ගැනම කේන්ති එනව. ස්කිපීගෙ හදවත ගැහෙන සද්දෙ ඇහෙන්න ගන්නකොට එයාව මගෙන් ඈතට තල්ලු කරනව.. හොඳ වෙලාවට ස්කිපීගෙ ඇස් මට පේන්නෙත් නෑ. මගේ ඇස් ස්කිපීට පේන්නෙත් නෑ.. ස්කිපීගෙ වලිගෙ ටකස් ටකස් ගාල බිම වදින සද්දෙ විතරක් අහෙනව.. මම ආපහු ස්කිපීගෙ දිහා බලන්නෙවත් නැතුව බෝඩිමට එනව.. කවදහරි දවසක "ඔයා හරිම හොඳ බල්ලෙක්.." කියල මම ස්කිපීට කියන්න ඕනෙ..

No comments:

Post a Comment