Sunday, October 16, 2016

අළුත් අම්මෙක්?

අපේ කූඩුව තියෙන්නෙ පාර අයිනෙමයි. දවල්ට මෙතන ඉන්නකොට ඉර එළියට ඇස් නිලංකාර වෙලා යනවා. ඒත් වෙන කරන්න දේකුත් නැති නිසා පාරෙ යන වාහන බලන්න අපි පුරුදුවෙලා හිටියා. එක එක විදියෙ වාහන පාරෙ යනව. 

ලොකු අයියා නම් කියන්නෙ ඒව මිනිස්සුන්ව කනව කියලයි. ඒත් අපේ කූඩුව තියෙන තැන නවත්තපු වාහන වලින් මිනිස්සු එළියට එනව මම දැකල තියෙනව. කෑවනම් කොහොමද ආයෙත් එළියට එන්නෙ..? අපි කන කංකුං එහෙම එළියට එන්නෙ නෑනෙ. 

තාත්තා කියන්නෙ අයිය කියන කතා ගැන වැඩිය හිත කරදර කරගන්න එපා කියලයි. වැඩෙන වයසෙදි ඔහොම විකාර හිතෙනවලු. ඔහොම පණ්ඩිත කතා අයිය කියනකොට මට නම් හිතෙන්නෙ හොඳට රිදෙන්න එයාගෙ කකුලක් හපන්නයි. ඇයි අනේ එකම දවසෙ ඉපදිච්ච කට්ටිය ඔහොම පණ්ඩිත කතා කියද්දි කොහොමද ඉවසන්නෙ?

එදා දවල් කෑම වෙලාව එනකම් අපි හැමෝම බලාගෙන හිටියා. මෙහෙම බලාගෙන ඉන්න එක තමයි ඉවසන්න අමාරුම වැඩේ. දැන් මට හරියට බඩගිනි එනවා. අනික් කට්ටියටත් එහෙමයි. ඒත් අපිට කෑම දෙන්නෙ ඉස්සර ප්‍රමාණෙමයි. ඒ නිසා පොරකාල ගත්තෙ නැත්නම් විනාසයි. 

එක පාරටම අපේ කූඩුව ඉස්සරහ රෝද තුනක් තියෙන වාහනයක් ඇවිත් නැවැත්තුවා. මොකෙක් හරි සතෙක් ගෙනියන්න ආපු කෙනෙක් වෙන්න ඇති. වාහනෙන් එළියට බැස්සෙ මහත ගෑනු ළමයෙක්. එයා කලබලෙන් වගේ බහින්න යනකොට බෑග් එක දොරේ හිරවුණා. චුට්ටක් දඟලල බෑග් එක නිදහස් කරගෙන එයා බැලුවෙ අපේ කූඩුව දිහා. ඊටපස්සෙ එයා දිව්වෙ කඩේ ඇතුළට. අපි ඒ දිහා ඔහේ බලාගෙන හිටියා. ඉක්මණට කන්න දෙනවනම් හොඳයි.

ටික වෙලාවකින් අර මහත ගෑනු ළමය අපේ කූඩුව ළඟට ආවා. 

"මොන හාවද මිස්ට ඕනෙ.." අපිට කෑම දෙන කෙනා ඇහුවා.

ගෑනු ළමය පොඩ්ඩක් නැවිල උනන්දුවෙන් අපි හැමෝම දිහා බැලුව. මම පුළුවන් තරම් කූඩුවෙ බිමට හේත්තු වෙලා හිටියෙ එයාට පේන්නෙ නැති වෙන්නයි. මට ගෙදර අය දාල යන්න ඕනෙ නෑ. අයියල නම් බය නැතුව ඉස්සරහට වෙලා හිටියෙ නිර්භීත විදියට. අම්ම රහසෙන් කොඳුරල කිව්වෙ බය නැතුව ඉන්න කියලයි.

"අර පිට මැද කළු ලපයක් තියෙන හාවව දෙන්න." ගෑනු ළමය කිව්වා. 

තාත්ත..!!!! අනේ.. එයා නැතුව කොහොමද අපි ඉන්නෙ.. තාත්තාව ගන්න හැදුවොත් එයාගෙ අත හපනව කියල හිතට අරගෙන මම එහාට මෙහාට පැන්නා. අපේ පවුලෙ අනික් අයත් හිටියෙ කලබල වෙලා. 

"තාත්තාව ගෙනියන්න දෙන්න බෑ. අපි එයාලව හපමු.." මම අනික් අයට කිව්වා. 

ඒත් එයාල මොකුත් නොකිය මගේ දිහාට ඇස් අලවගෙන ඔහේ හිටියා. අපිට කෑම දෙන කෙනාගෙ අත් මගේ දිහාවට ළං වෙනකොට තමයි මට මතක් වුණේ මගේ පිට මැදත් කළු ලපයක් තියෙන විත්තිය.. මම එයාගෙ අත් වලින් ගැලවෙන්න පිස්සුවෙන් වගේ පැන්නා. 

"අම්මෙ, මාව බේරගන්න.." මම අම්මගෙනුත් ඉල්ලුවා.

එයාත් කලබල වෙලා උඩ පැන්නා. මාව ඒ මනුස්සයාගෙ අත් වලින් වහගන්න හැදුවා. පවුලෙ හැමෝගෙම පපුව වේගෙන් ගැහෙනවා මට ඇහුණා. මට ඕනෙ වුණේ මාව ගෙනියන්න එපා කියල කෑ ගහන්නයි. ඒත් කිසිම සද්දයක් පිටවෙන්නෙ නෑ. 

"මට අම්ම එක්ක ඉන්නයි ඕනෙ. කෑම නැති වුණත් කමක් නෑ. මම ආයෙත් කූඩුවෙ හැම තැනම හා බෙටි දාන්නෙ නෑ. හොඳට ඉන්නවා. අනේ මාව ගෙනියන්න එපා." මම පුළුවන් හැම විදියටම අපිට කෑම දෙන කෙනාට කිව්වා. 

මාව කන් දෙකෙන් අල්ලල සිදුරු විදපු කඩදාසි බෑග් එකකට දාල අර ගෑනු ළමයගෙ අතට දෙනකොට මම පුළුවන් තරම් හයියෙන් ඇඬුවා. ඒත් ඒ ගෑනු ළමයටවත්, අපිට කෑම දෙන කෙනාටවත් ඒක ඇහුණෙ නෑ. මාව දාපු කඩදාසි බෑග් එකත් අරන් ගෑනු ළමය නැග්ගෙ රෝද තුනේ වාහනේටයි. ඒ වාහන මිනිස්සුන්ව කනව කියල අයිය කියපු කතාව මතක් වෙලා බයට මාව මැරුණෙ නැති ටික විතරයි. 

මාව දාපු බෑග් එක පපුවට තුරුළු කරගෙන ඒ ගෑනු ළමය කිව්වෙ "මම තමයි ඔයාගෙ අලුත් අම්ම.." කියලයි. පිස්සුවෙන් වගේ මගෙ පපුව ගැහෙනකොට මගෙ ඇත්ත අම්මගෙ සුවඳ ටික ටික නහයට දැනෙන්නෙ නැතුව ගියා. "අළුත් අම්මෙක්?" මම කල්පනා කලේ බයෙන්.

කූඩුවේ ජීවිතේ

අපේ අම්මා ලස්සනයි. එයා ළඟ උණුහුමයි. හැම මොහොතෙම එයාට හේත්තුවෙලා ඉන්නයි මම කැමති. ඒත් අපේ පවුලෙ කට්ටිය ගොඩක් ඉන්නවා. ලොකු අයියයි, පොඩි අයියයි, අක්කයි, නංගියි, මමයි, තාත්තයි. හැමෝම කැමති අම්මට තුරුල් වෙලා ඉන්න නිසා හැමදාම රණ්ඩු. 

අපේ කූඩුව පොඩියි. වැතිරිලා ඉන්නකොට ගණකම් කම්බි ඇඟේ වැදිල රිදෙන්න ගන්නවා. කම්බියට තදවෙලා අයියාගෙ කකුලත් තුවාල වුණා දවසක්. කූඩුවෙ බිමට දාල තියෙන්නෙ තැඹිලි පාට ලී කුඩු. ඒව තෙතයි. කකුල්වල ඇලෙනව. එතකොට කසනව. මම නම් පොඩ්ඩක්වත් ආස නෑ. 

කූඩුවේ තැනින් තැන කහ පාට වතුර කෝප්ප තියල තියෙනවා. තිබහ හැදුනම අපි ගිහින් ඒව බොනවා. කෑම හම්බවෙන්නෙ දවසට එක පාරයි. ඒ වෙලාවට කොහොමහරි පොරකාල පුළුවන් තරම් බඩ පුරෝගන්නව. නැත්නම් පහුවදා කෑම දෙනකම් හාමතේ ඉන්නයි වෙන්නෙ.

ළඟදි ඉඳල මගෙ දත් රිදෙනව. අළුත් දත් එන නිසා කියලයි අම්ම කියන්නෙ. එහෙම ඉදෙන වෙලාවට කන්න මොකුත් තියෙනවනම් හොඳයි. දවසෙ වැඩි හරියක් මම ගෙවන්නෙ කකියන දත් වල වේදනාව ඇරගන්න හපන්නෙ මොනවද කියල හිත හිත. එක දවසක් ඉවසන්නම බැරුව අපේ කූඩුවෙ කම්බිය හැපුවා. අයියලත් එහෙම කරනව. අම්ම නම් අවවාද කලේ එහෙම කරන්න එපා, කට තුවාල වේවි කියල. ඇත්ත තමයි. හරියට රිදෙනව තුවාල වුණාම.
අම්ම කියන්නෙ මෙහෙම එකට ඉන්න වෙන්නෙ තව ටික දවසයි කියල. කවුරු කවුරුහරි ඇවිත් ඉක්මණටම අපිව අරගෙන යාවිලු. එයා පොඩි කාලෙත් එහෙමලු වුණේ. අම්මව මෙහාට අරන් ආවෙ අපිට දවල්ට කෑම දෙන කෙනාලු. එහෙම ඇවිත් ටික දවසකින් තාත්තාත් ආවලු. එතකොට හැම ප්‍රශ්නෙම විසඳුනාලු. තාත්තානම් කිව්වෙ හැම ප්‍රශ්නෙම පටන් ගත්තෙ එදා කියලයි. අනේ මන්දා.. 

අම්මාගෙ ලොම් කළුයි සුදුයි. තාත්තාත් එහෙමයි. ඒත් අයියල දෙන්නයි, අක්කයි නංගියි මමයි එක එක පාට. ලොකු අයියා තනි කළු. පොඩි අයියා තනි සුදු. එයයි අක්කයි එක වගේ. නංගිගෙයි මගෙයි ලොම් අම්මගෙ වගේ. ඒත් තාත්තාගෙ පිට මැද කළු ලපය තියෙන්නෙ මට විතරලු. ඒක මට පේන්නෙ නෑ. අම්මයි කිව්වෙ. මොනව වුණත් මම මගේ පවුලෙ අයට ආදරෙයි. හැමදාම මෙයාල එක්ක ඉන්නයි මට ඕනෙ. 



මගේ හා මැණිකයි, අනෙක් සත්තුයි

චක් අපේ පූසා. එයා රත්තරන් පාට දඟකාර, හැඩකාර, විසේකාර පූස් කොල්ලෙක්. මට මතක ඇති කාලෙක ඉඳල අපේ ගෙදර පූසො හිටිය. ඒත් එක එක හේතු නිසා පූසො මැරුණ. සමහරු වයසට, සමහරු ලෙඩ වෙලා.. තවත් සමහර පූසො කැලේ පැන්නා. කාලයක් තිබුණ අපේ ගෙදර කිසිම පූසෙක් නොහිටපු. චක් අපේ ගෙදරට ආවෙ මීට අවුරුදු දෙකකට කලින් මම ස්ටඩි ලීව් හම්බවෙලා ගෙදර ඇවිත් ඉඳපු දවසක. අපි පූසෙක් හොය හොය ඉන්නව කියල දැනගත්ත අසල්වැසියෙක් තමයි එයාව අරන් ආවෙ. වැඩි දවසක් නොයාම රත්තරන් පාට ලොම් තියෙන හුරතල් චක් ගෙදර හැමෝගෙම ආදරේ දිනාගත්ත සුරතලා වුණා. 

ලස්සන විතරක් නෙමෙයි. චක් හරිම හොඳ පූසෙක්. කවදාවත් ගෙදර ඇතුළෙ මළපහ කලේ නෑ එයා. පුංචිකමට දඩි බිඩි ගාල එළියට දුවනවා. කාලයක් පූසන් ඇතිකරල ලබපු  අත්දැකීමෙන් මම දන්නවා එහෙම හොඳ ගතිගුණ තියෙන පූසො දුර්ලභ බව.

සෙල්ලමට හරිම කැමති චක්, අපි ගෙදර එහෙ මෙහෙ ඇවිදිනකොට පිස්සෙක් වගේ එහෙ මෙහෙ දිව්වා. අම්මා ගෙදරට අඳින දිග සායවල් වලට චක් හරි ආසයි. දොර රෙද්දකට මුවා වෙලා, කුරුමානම් අල්ලල, අම්මගෙ සායෙ එල්ලිලා දඟලනව.

අප්පච්චි තේ බොනකොට චක් දඩි බිඩි ගාල එතනට දුවන්නෙ අනිවාර්යයෙන්ම කන්න දෙයක් ලැබෙන බව දන්න නිසයි. හුරතල් විදියට කකුලෙ වෙළිල, පොඩ්ඩක් පුරු පුරු ගාල කෑම ලබාගන්න විදිය චක් දන්නවා. එයා බිස්කට් වලට හරි ආසයි. බිස්කට් ටින් එකක් අරින සද්දෙ ඇහුණොත් කොයි ලෝකෙ හිටියත් දුවගෙන එනවා.

හැමෝගෙම ආදරේ මැද හැදුණ චක්ට හිටියෙ එකම එක සතුරයි. ඒ ෂැගී.. ෂැගී අපේ ගෙදර කුමාරිකාවක් වගේ හැදුණ බලු පැටියා. දැන් අවුරුදු හයයි වයස. එයා හිතාගෙන ඉන්නෙ අයියයි, මමයි වගේ එයත් මේ ගෙදර දරුවෙක් කියල. කාත් එක්කත් ගාණකට ආස්සරේ පවත්වන ෂැගී චක්ට සලකන්නෙ දරුණු විදියට. ෂැගීගෙ කුමාරිකා කිරුළට අභියෝගයක් වෙන්න ආපු චක් හැමදාම ෂැගීගෙ රැවුම් ගෙරවුම් වින්ඳා. 

එක දවසක් රාත්‍රියේ ෂැගීට හොඳටම කේන්ති ගිහින් චක්ව දරුණු විදියට හපාකෑවා. ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සෙ තුවාල ගොඩක් බවට පත්වුණ චක් දැන් ඉන්නෙ ටිකෙන් ටික සුවය ලබමින්. මේ බලු පූස් ද්වන්ධ සටන චක්ගෙ ජීවිතේ වගේම ෂැගීගෙ ජීවිතෙත් කනපිට පෙරළුවා. හැමවෙලාවෙම කෝපයෙන් හිටපු ෂැගී ටික ටික ඉවසීම සහ උපේක්ෂාව ප්‍රගුණ කරපු බල්ලෙක් වුණා. තමන්ගෙ ආරක්ෂාව සලසගන්න නම් නිතරම විමසිල්ලෙන් ඉන්න ඕනෙ බවත්, බල්ලන් සමඟ වැඩි භජනය ඇඟට ගුණ නැති බවත් චක් තේරුම් ගත්තා.

අම්මා නැතුව අසරණ වුණ චබී කියන බලු පැටියා ඊලඟට අපේ පවුලට එකතුවුණා. සිහියක් පතක් නැතුව නලියන ගතිය එයා අපේ ගෙදර ආපු පළවෙනි දවසෙ ඉඳලම තිබුණා. ෂැගී, චක් විතරක් නෙමෙයි චබී හිතන විදියට අපේ අයියයි මමයි මේ ලෝකෙට ආවෙත් චබී සමඟ සෙල්ලම් කිරීමේ කාර්යයටයි. ඉස්පාසුවක් නැතුව අනික් සත්තුන්ට වද දෙනව තමයි, ඒත් චබී අහිංසකයි. 

අපේ ගෙදර මෙන්න මේ වගේ වාතාවරණයක් පවතින අවස්ථාවක තමයි අවිහිංසාවෙ ප්‍රතිමූර්තිය වගේ ඉන්න රපුන්සල්ගෙ ආගමනය සිද්ධ වෙන්නෙ. ජීවිතේට බල්ලෙක් දැකල නැති රපුන්සල්, එයාගෙ ජීවිතේ ඇහිපිල්ලමක් ගහන පරක්කුවෙන් නැති කරන්න ෂැගීට පුළුවන් කියල දන්නෙ නෑ. විදුලියක් වගේ වේගවත් චක්ට රපුන්සල්ව අල්ලගන්න එක තප්පරයක් ප්‍රමාණවත් කියල දන්නෙත් නෑ. තණබිස්සෙ සෙල්ලම් කරන්න දාපු වෙලාවට රපුන්සල් කුතුහලයෙන් ඉව කර කර දුවන්නෙ ෂැගීගෙ දිහාවට. නැත්නම් චක්ගෙ දිහාවට. පුංචි පුළුන් බෝලයක් වගේ ඉන්න රපුන්සල් ෂැගීටනම් එක කටයි. රපුන්සල්ට චබීගෙන් කරදරයක් නැත්තෙ හා මැණික එලිපහලියෙ ගැවසෙන වෙලාවට චබියාව කූඩුවට දාන නිසයි. බල්ලො දෙන්නෙකුයි, පූසෙකුයි අතරෙ රපුන්සල්ගෙ ජීවිතේ කොහොම ගතවෙයිද කියල හිතනකොට මගේ හිතට බයයි. 




Saturday, October 15, 2016

සුවඳ පිරුණු පුංචි කාමරේ..

දිග කන්ටේනර් එකක පිටිපස්සට පොඩි බිල්ඩින් බ්ලොක් එකක් හයි කෙරුවම පේන හැඩේට හදල තියෙන අපේ ගෙදර, නිදන කාමර හතරයි. ලොකු ඒවා තුනයි. එකක් අපේ අයියට, එකක් අම්මටයි අප්පච්චිටයි, අනිත් එක පොඩි අත්තට. පුංචි නිදන කාමර එකයි. ඒකෙ ඉන්නෙ මමයි. 

කිරිඅම්මා අපේ ගෙදර ආවම නිදාගන්නෙ මගේ කාමරේ. ඒ නිසා මේ කාමරේ ඇඳන් දෙකයි. රත්තරන් පාට කැරළි ගැහුණු කොණ්ඩයක් තියෙන පොඩි ගෑනු ළමයගෙයි, වලස්සු තුන්දෙනාගෙයි කතන්දරේ වලස් පැටිය නිදාගන්න ඇඳ වගේ මේ ඇඳන් පොඩියි. ඒවා හැදුවෙ අප්පච්චි. අප්පච්චිට හැම වැඩක්ම පුළුවන්. අපේ ගෙදර වතුර මෝටරේ කැඩුනම හදන්නෙත් අප්පච්චි. මිදුලෙ ගල් වැටි අල්ලලා ලස්සන ලස්සන ගස් හිටවන්නෙත් අප්පච්චි. මැෂින් එකෙන් තණකොළ කපන්නෙත් අප්පච්චි. ටැප් හයි කරන්නෙත් අප්පච්චි. මාව ක්ලාස් ගිහින් දාන්නෙත් අප්පච්චි. වේවැල් පුටු දිරුවම ඒව අලුතෙන් වියන්නෙත් අප්පච්චි. ඕනෙම ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවට මගෙ උපදේශකයත් අප්පච්චි. ඒ විතරක් නෙමෙයි, අපේ ගෙදර ප්ලෑන් එක ඇඳල තියෙන්නෙත් අප්පච්චි.

මගෙ පුංචි කාමරේට දාල තියෙන්නෙ ලී ජනේල. ඒ නිසා නිවාඩු දවසට ඇති වෙනකම් නිදාගන්න පුළුවන්. ජනෙල් වැහුවම දැනෙන්නෙ රෑ වගේ. සමහර දවස්වලට මම හිම වලහෙක් කියල හිතාගෙන පැය දහයක් දොළහක් එක දිගට නිදාගන්නේ මගේ පුංචි කාමරේ තියෙන මේ මැජික් එකට පින් සිද්ධ වෙන්නයි. 

ගෙදර අනෙක් කාමර වලට වඩා මගේ කාමරේ සීතලයි. සිසිලයි. කාමරේ බිම නිදාගෙන පොළොවට කණ තිබ්බම කුස්සියේ අම්ම කතාකරන සද්දෙ ඇහෙනවා. ඒකට හේතුව මොකක්ද කියල මම පොඩි කාලෙ ඉඳන්ම කල්පනා කරනවා.

රපුන්සල් ගෙදර ගෙනාවට තවම එයාගේ කූඩුව ලෑස්ති නෑ. ඉතින් ටික දවසක් යනකම් එයාට ඉන්න වෙන්නෙ මගේ මේ පුංචි කාමරේ ඇතුලෙයි. එයා අපේ ගෙදරට පයගහපු ගමන්ම, එයාගෙ බඩු මුට්ටු ඔක්කොම මගේ කාමරේ ස්ථානගත කලා. රෝස පාට ලිටර් බොක්ස් එක තිබ්බෙ දොර ගාවම මුල්ලෙ.. එයාගෙ නිල්පාට ටෙඩී හාවයි, ගෙම්බයි කාමරේ මැද.. කහපාට වතුර කෝප්පෙ නිතර පෙරලගන්න නිසා ඇඳ ලඟ තියන පොඩි කනප්පුව යටින් තිබ්බා. තව එයාගෙ රෝස පාට නැප්කින් එක ඇඳ යට එලුවා. කංකුං, කැරට් ආදී කෑම බීම ඇඳ පාමුළ. රෝස පාට කූඩෙ ඇඳට හේත්තු කරල බිම. රපුන්සල්ගෙ බඩු කාමරේ තිබ්බම මගෙ කාමරේ පේන්නෙ පොඩි බබෙක් ඉන්න තැනක් වගේ.

හොස්ටල් එකේ කාමරේ වගේ නෙමෙයි මෙතන. අහුමුළු කෝටියක් විතර තියෙනවා.  රෝස පාට කූඩෙන් අරන් එළියෙන් තිබ්බ විතරයි, රපුන්සල් හැම තැනම දුව දුව ඉව කරන්න ගත්තා. කාමරේ හැම බිම් අඟලකම එයාගෙ සුවඳ තැවරුවා. කාමරේ තියෙන හැම බඩු මුට්ටුවක්ම එයාගෙ පුංචි හොම්බෙන් පරික්ෂා කරල මෙතන එයාට ආරක්ෂිතයි කියල නිගමනයකට ආවා. මගේ හොස්ටල් කාමරේදි වගේම මෙහෙදිත් රපුන්සල්ගෙ ප්‍රියතම තැන වුණේ මගේ ඇඳ යට.

මෙච්චර කාලයක් මගෙ වාසභවන වෙලා තිබුණ පුංචි කාමරේ අද ඉඳල රපුන්සල්ගෙ සුවඳ පිරුණු පුංචි කාමරේ වෙනවා.





Friday, October 14, 2016

තණ බිස්සේ කෙළි සෙල්ලම්..

මට හීනයක් තිබුණා.. තණ බිස්සක රපුන්සල් දුවන පනින හැටි දකින්න, එයාගෙ දත්වලින්ම කඩාගෙන නැවුම් දළු කොළ රස කර කර කනව දකින්න.. 

රපුන්සල් ගෙදර ගෙනල්ල ටික වෙලාවකින් එයාව තණකොළ බිස්සට දාමු කියන අදහස ආවෙ අප්පච්චිට. අපේ ගෙදර ඉන්න නොසණ්ඩාල බලු පැටිය, චබී තමයි ඉතින් රපුන්සල්ට කරදරයක් කරොත් කරන්නෙ. ඒ නිසා එයාව දැම්ම කූඩුවට. ඊටපස්සෙ අම්මයි, මමයි, අප්පච්චියි සමකෝණී ත්‍රිකෝණයක මුළු තුනක් වෙලා රපුන්සල්ව එයාගෙ කූඩෙන් මුදාහැරියා. රෝස පාට කූඩෙන් එළියෙ අමුතු ලෝකෙ දිහා ටික වෙලාවක් ඇස් ලොකු කරගෙන බලන් ඉඳපු රපුන්සල්, එයාගෙ ජීවිතේ පළවෙනි වතාවට තණ බිස්සක් උඩ කකුල තිබ්බා. 

ඒක දැකපු මට මතක් වුණේ "Tangled" කියන ඇනිමේටඩ් ෆිල්ම් එකේ රපුන්සල්, එයා පුංචි කාලෙ ඉඳන් ජීවත්වෙච්ච කුළුණෙන් එළියට ඇවිත් තණකොළ පහස කකුල් වලට දැනුණම, පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවන ගමන් කියන සිංදුව.. 

රපුන්සල්ට "රපුන්සල්" කියල නම දැම්ම හේතුව මම තවමත් කල්පනා කරනව. මගෙ රපුන්සල්ගෙයි ෆිල්ම් එකේ රපුන්සල්ගෙයි තියෙන සමානකම් මගේ හිතට ගේන්නෙ වේදනාවක්. රපුන්සල්ට නම දාපු දවසෙ රෑ, මම ආයෙමත් සැරයක් Tangled මූවි එක බලනගමන් හිතුවෙ මේ සමානකම් ගැනයි. රපුන්සල්ව බලාගන්නෙ මම නිසා, රපුන්සල්ට "රපුන්සල්" කියල නම තිබ්බොත් මම එයාගෙ නපුරු කුඩම්ම වෙනව. රපුන්සල්ට නම දුන්නෙ, මම ගොඩක් ආදරේ කරන ප්‍රාණියෙක්. එයා මාව නපුරු කුඩම්මගෙ චරිතෙට ආදේශ කිරීම නම් ටිකක් දරුණු වැඩියි. ඒක දැනෙන්නෙ හරියට අච්චාරු වල තිබුණ මිරිස් කරලක් හැපුණ වගෙයි. ඇඹුල් රසයි, සැරයි. ගැස්ට්‍රයිටිස් වලට මේ දෙකම හොඳ නැහැ.

ෆිල්ම් එකේ රපුන්සල් වගේම මගෙ හා පැටික්කිත් තණකොළ ගහක් කකුලෙ ගෑවෙනකොට කොහොමද දැනෙන්නෙ කියල මීට කලින් විඳල නෑ. එක කකුලක් තණබිස්සෙ තියල රපුන්සල් බැලුවෙ මගේ දිහාවෙයි. මම එයා දිහා බලාගෙන හිටියෙ "ඔව්.. අනිත් කකුලත් තියන්න." කියන බැල්මෙන්. කකුල් හතරම, ඊයෙ වැටුණ පොද වැස්සට තෙමිල නිල් කොළ පාටට පණගහල තියෙන තණකොල උඩ තියල කරණමක් ගහපු රපුන්සල් වේගෙන් පැනගෙන පැනගෙන ගියා.

මිදුලෙ තිබුණ හැම කොළයක්ම, දල්ලක්ම, මලක්ම ඉව කරල අසිහියෙන් වගේ එයා එහාට මෙහාට දුවන හැටි දැක්කම රපුන්සල් අද කැලේටම පැනල යාවිද කියල මට බය හිතුණා. රපුන්සල් රට හාවෙක් බවත්, කැලෑ හාවො වගේ කැලේට පනින්න රට හාවො කැමති නැති බවත් අප්පච්චි කිව්වම මගේ හිත සැනසුණා. තණකොළ, උඳුපියලිය, ගොටුකොළ, නිදිකුම්බා.. එකී මෙකී නොකී හැම පැළෑටියක්ම පොඩ්ඩක් විකල රහ බලන්න රපුන්සල් අමතක කලේ නෑ. ඒත් අන්තිමට එයාගෙ හිතට අල්ලපු රහ තිබුණෙ උඳුපියලිය කොළවලයි. 

මගෙ ළඟට ආව දවසෙ ඉඳල මේ වෙනකන් මම දැකපු නැති තරම් කරණම් ගොඩක් ගහපු රපුන්සල්, ටැප් එකට දාපු  වතුර බට වළලන්න අප්පච්චි හාරපු වල හාරගෙන හාරගෙන ගියා. එයාගෙ අබිරහස් හා ගුල..!!! රපුන්සල් ගැහැනු හාවෙක් නිසා ගුල් හාරන්න ආසා වේවි කියල වෙට් කිව්ව කතාව මට මතක්වුණා. රපුන්සල් කවදහරි ගුලක් හාරල, ලස්සන හාවෙක්ව බැඳල, පැටව් ගොඩකගෙ අම්ම වෙලා ඉන්නව මට මැවිල පෙනුණා. 

කූඩුවෙන් එළියට රෝල් වෙලා ගිය කැරට් අලේ තණකොල ගොල්ලෙ ඔහේ වැටිල තිබුණ. රපුන්සල් නෙමෙයි ඒ දිහා නිකමටවත් බැලුවෙ. දිලිසෙන ඇස්, නලියන කන්, මැෂින් එකක් වගේ වැඩකරන පුංචි කට.. රපුන්සල්ගෙ හැම සෛලෙකින්ම පේන්න තිබුණෙ එයා මේ මොහොතෙ විඳින උපරිම සතුට. උඳුපියලිය ගොල්ලෙ දිගාවෙලා කොළ කාගෙන කාගෙන යන රපුන්සල් දැකල මම තීරණය කලේ එයාගෙ ගෙදර වෙන්න ඕනෙ මගෙ ඇහිරිච්ච හොස්ටල් කාමරේ නෙමෙයි අපේ ගෙදර කියලයි. ඔව්, මේ සතුට එයාට හැමදාම විඳින්න ඉඩ දෙන්න ඕනෙ නිසා මම එයාව ගෙදර තියල යනව.  ඈත ඉඳන් රපුන්සල්ගෙ ඒ නිම් හිම් නැති ප්‍රීතිය දිහා බලාගෙන හිටපු මගේ ඇස් වලට කඳුලු ආවෙ ඇයි කියල මම දන්නෙ නෑ. 








රපුන්සල් වීර හාවෙක්..

අද විශේෂ දවසක්, රපුන්සල්ටයි මටයි දෙන්නටම.. අපි දෙන්නා අද ගෙදර ආවා. පොඩි මැණිකේ කෝච්චියෙන්. එයාව ගෙදර ගේන්න තීරණය කලේ මම දවස් දෙකකට ගෙදර එන නිසයි. රෝස පාට කූඩෙකුයි, රෝස පාට නැප්කින් එකකුයි ගත්තෙ එයාව ගමන පුරා සැප පහසුවට තියන්නයි. නැප්කින් එක කූඩෙ අඩියෙ අතුරල, රපුන්සල්ගෙ සෙල්ලම් හාවයි, ගෙම්බයි කූඩෙට දැම්මා. මඟදි බඩගිනි වුණොත් කන්න කංකුං ඉති දෙක තුනකුයි, කැරට් අලේකුයි ගත්තා. වතුර තිබහ හැදුණොත් කියල ලොකු සිරින්ජයකුත් ගත්තා. කෝකටත් කලින් දවසෙ රෑ රපුන්සල්ට සිරින්ජයෙන් වතුර බොන්න පුරුදු කරලයි තිබුණෙ. දැන් ගමනට සේරම ලෑස්තියි. අඩුවකට තිබුණෙ හාවා විතරයි. 

මම ලෑස්තිවෙලා ඇඳ යටට බඩගෑවා රපුන්සල්ව හොයන්න. පුළුන් බෝලෙ මගෙ ළඟට ආවෙ නට නට. ඇදල අරගෙන කූඩෙට දැම්මා. රපුන්සල්ට කූඩෙ හුරුයි. වෙට් ළඟට යද්දි එක්ක යන්නෙත් කූඩෙ දාගෙන නිසා. ඒ නිසා එයා වැඩි කලබල නැතුව ඉව කර කර හිටියා. හොස්ටල් එකේ ඉඳල විජේරාම හංදියට අපි ගියේ ටුක් එකක. කූඩෙ අයිනට ඇවිත් සීතල සුළං පහස විඳ විඳ රපුන්සල් හිටියේ විනෝදෙන්. කවදහරි රපුන්සල්ව බෝට්ටුවකත් එක්ක යන්න ඕනෙ. මම එවෙලෙ හිතුවා.

විජේරාමෙ ඉඳල කොටුවට යන එක තමයි සැබෑ අභියෝගය. රපුන්සල් කවදාවත් බස් එකක ගිහිල්ල නැති නිසා මේ අමුතු අත්දැකීම එයාට බියකරු වෙයිද පියකරු වෙයිද? රපුන්සල්ගෙ හයි ස්පීඩ් හදවත ගැහෙන රිද්මය මගෙ ඇඟිලි වලට දැනුණා. එයාට පොඩ්ඩක් හරි අපහසුවක් දැනුණොත් බහිනව කියන අදහස ඇතිව මම ඉඳගත්තෙ ඉස්සරහම සීට් එකේ. ටික දුරක් යනකම් කරදර මූණකින් ඉඳල රපුන්සල් සන්සුන් වුණා. මමත් සැනසුම් සුසුමක් හෙලුවා. ඊටපස්සෙ අපි දෙන්නම පොඩි නින්දක් දැම්මා.

කෝච්චියෙ සෙනඟ ගොඩයි. අපිට සීට් එකක් ලැබුණෙ නෑ. කරුණාවන්ත අංකල්ලා දෙන්නෙක් එයාලගෙ සීට් මැද්දෙන් රපුන්සල්ගෙ කූඩෙ තියන්න ඉඩ දුන්නා. කෝච්චි පෙට්ටිය හරියට නිකං හොරණ වීදුරු කම්හලේ උඳුන් කාමරේ වගේ රස්නෙයි. පොඩි මැණිකේ කෝච්චිය කොටුවෙන් පිටත් වෙනකන් හැමෝම හිටියෙ දාඩිය පෙර පෙර. රපුන්සල්ගෙ ලොම් කබාය නිසා එයාට මටත් වඩා අමාරු ඇති.

ඒ වෙලාවෙ වතුර බෝතල් වෙළෙන්දා කොහෙන්ද මන්ද මතුවුණා. කූල් වතුර බෝතලයක් රපුන්සල්ගෙ කූඩෙන් තිබ්බොත් රස්නෙ අඩු වෙයිද? මම අදහස ක්‍රියාත්මක කලේ හිතේ දෙගිඩියාවෙන්. කෝච්චිය රාගම හරියට යද්දි රපුන්සල් සීතල වතුර බෝතලේ උඩ නැගල උණුසුම නිවා ගත්තා. ඒ වැඩෙත් ගොඩ.

කෝච්චි පෙට්ටියේ හාවෙක් ගමන් කිරීම මේ වෙනකොට හැමෝගෙම අවධානයට ලක්වෙලයි  තිබුණෙ. බබාලගෙ දඟවැඩ ඉවසන්න බැරිවුණ අම්මලා "අන්න පුතේ හාවෙක්.. හාවත් දකිනව ඔයා දඟ කරනව. දඟලන්නෙ නැතුව ඉන්න." කියද්දි බබාල අඬනව නවත්තගන්නෙ ඕනෙ කරපු අම්මල "අන්න හාවෙක්" කියල රපුන්සල්ව පෙන්නන්න ගත්තා. සමහර බබාලට රපුන්සල්ව අල්ලන්න ඕනෙ වුණා. මම එයාලට කිව්වෙ "අම්මෝ.. මෙයා පන්න පන්න හපනව. බෙහෙත් විදලත් නෑ.." කියලයි. රපුන්සල් භයානක හාවෙක් කියල හිතල බබාල ටික හාවාගෙන් ඈත් වුණා. 

රපුන්සල්ව තියන්න සීට් එකේ ඉඩක් දුන්න අංකල් කෙනෙක්ට, එයා තරුණ කාලෙ දඩයමේ ගියපු වෙලාවක හාවෙක් මරල මස් කාපු එක මතක් වෙලා තිබ්බා. එයා තලු මර මර, හා මස් වල රස මට විස්තර කරන්න ගත්තා. රපුන්සල් හිටපු සීට් එකට ඉස්සරහ සීට් එකේ ඉඳපු කිරිඅම්මට දැනගන්න ඕනෙ වුණේ හාවගෙ නම කිව්වම හාව එනවද කියලයි. හාවගෙ නම රපුන්සල් කියල කිව්වම වටේ පිටේ හැමෝම "රපුන්සල් රපුන්සල්" ගාන්න ගත්තා. හැම පැත්තෙන්ම නම ඇහෙන නිසා කලබල වෙච්ච රපුන්සල් බැලුවෙ එයාගෙ නම නොකියපු මගේ දිහාවයි.

ගමනෙ තෙහෙට්ටුව නිසාද මන්ද රපුන්සල් කෑවෙ නෑ. ඒ නිසා මම සැරෙන් සැරේ සිරින්ජයට වතුර පුරවල එයාට පෙව්වා. ඒ සැලකිල්ල රපුන්සල් බොහොම ආදරෙන් පිළිගත්තා. රපුන්සල් වතුර බොනවද බලන්න ඇස් දුසිමක් විතර කූඩෙ  වටේ තිබ්බා. 

රඹුක්කනින් අපි බැස්සා. කෝච්චි පෙට්ටියෙ හිටපු හැමෝම ජනෙල් වලින් එබිල හාවට "බායි" කිව්වා. ප්‍රීතිමත් ස්වභාවයකින් හිටපු රපුන්සල්වත් අරන් මම ගෙදර ආවෙ, ගමේ බස් එකේ අජිත් මුතුකුමාරණගෙ දුක් අඳෝනා පිරි ගීත අහගෙනයි. රපුන්සල් අද සෑහෙන්න ලොකු අභියෝගයක් ජයගත්තා. ඒ නිසා මගෙ හා මැණික මට වීරයෙක්. ඔව්, රපුන්සල් වීර හාවෙක්..!!! 

Wednesday, October 12, 2016

කොහොල්ලෑ බබා..

ඉස්සර අම්මා අපිට බත්කවන ගමන් කියන කතන්දර කීපයක් තිබුණා. "මී පුප් ලදිම්, දරු නොලදිම්, රංකැටි පුතා කෝ" කියන කතාව, කොහාගෙ කතාව සහ කොහොල්ලෑ බබාගෙ කතාව මගේ ප්‍රියතම කතන්දර.. මේවා අම්මට කියලම එපා වෙන්න ඇති. ඇයි ඉතින් කතාවෙ වචනයක් එහෙ මෙහෙ වුණොත් "නෑ එහෙම නෙමෙයිනෙ.. මෙහෙමනෙ වුණේ" කියන්න අයියයි මමයි සැදී පැහැදී බලාගෙන ඉන්නවනෙ. 

කොහොල්ලෑ බබාගෙ කතාව මේ අතරින් විශේෂ වෙන්නෙ ඒ කතාවෙ හාවෙක් ඉන්න නිසා. අම්ම කිව්ව විස්තරවලින් සහ පොත්වල, පත්තරවල තිබුණ හාවන්ගෙ පින්තූරවලින් හිතේ මැවිච්ච හාවෙක් ඇරෙන්න ඇත්ත හාවෙක් අපි දැකල තිබ්බෙ නෑ. ඒත් දවසක් අපේ බල්ල වත්තෙ ඉඳල හාවෙක් අල්ලල, හාවගෙ බාගයක් කාල ඉතුරු බාගෙ ගෙදර ගෙනත් තිබ්බ. ඒත් ඉතින් දැක්කෙ හා බාගයක්නෙ.
 

මෙහෙම ඉන්නකොට තමයි කොහොල්ලෑ බබාලා හදන අදහස අපේ කිරිඅම්මට ආවෙ.  දවල්ට උයන්න කොස් සුද්දකරන ගමන් අතේ ගෑවුණ කොහොල්ලෑවල වතුර ගාල ලොකු ගුළියක් හැදුවා එයා. ඊටපස්සෙ බල්ලගෙ කූඩුව තිබුණ මඩුවෙ කණුවක ඓතිහාසික කොහොල්ලෑ බබාලගෙ සිතුවම නිර්මාණය කලා. ඒකෙ ඉන්නෙ ළමයි හතර දෙනෙක්. පිරිමි ළමයි දෙන්නයි, ගෑනු ළමයි දෙන්නයි. එක පිරිමි ළමයෙක් අනිත් අයට වඩා උසයි. ඒ අපේ අයියා. අනිත් පිරිමි ළමයගෙ කොණ්ඩෙ පොකුටුයි. චතුර අයියා. ගෑනු ළමයි දෙන්නගෙන් කූරු කොණ්ඩෙ තියෙන චතුර අයිය ගාණට උස කෙනා මමයි. මිටියට, බෝලයක් වගේ ඉන්නෙ චතුරි නංගි. අපි හතර දෙනාම ඒ සිතුවම නිර්මාණය කරන හැටි ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා. තවමත් ඒක ඒ කණුවෙ තියෙනවා. කොහොල්ලෑ බබාල හතරදෙනා දැන් දුඹුරු පාටයි.

ගෙදර ඇවිත් අයියයි මායි ඇවිටිලි කරපු නිසා අපේ ගෙදර කණුවක අම්මත් කොහොල්ලෑ බබාලගෙ සිතුවමක් නිර්මාණය කලා. ඒකෙ ඉන්නෙ ළමයි දෙන්නයි. අයියයි මමයි. පස්සෙ, පූසො දෙන්නෙකුයි බල්ලො කීපදෙනෙකුයි සිතුවමට එකතුවුණා. අම්මයි මමයි සැලසුම් කරන්නෙ කවදහරි අයියගෙ බබාවත් සිතුවමට එකතු කරන්නයි.

කොහොල්ලෑ බබාලගෙ සිතුවමට මුල්වුණේ හාවෙක් ඉඳපු කොහොල්ලැ බබාගෙ කතාව වුණාට, සිත්තමේ හාවෙක් නෑ. ඉතින් සෑහෙන කලක් යනතුරුම අයියටයි මටයි ඇත්ත හාවෙක් දැකගන්න පුදුම උණක් තිබුණා. දවසක් මිදුලෙ උඳුපියලිය ගොල්ලෙ හා බෙටි තිබිල මට ගෙනත් දුන්නෙ පොඩිඅත්තා. එදා රෑ හාවො එනවද බලන්න මම කාමරේ ජනේලෙ ලඟ රැකල හිටියා. ඒක දැනගත්ත අයියා මට ගොඩ්වින්ගෙ හොල්මන් කතාව කිව්වා. හාවො දකින ආසාව පැත්තක තියල මම බයේ ගැහි ගැහී නිදාගත්තා.

දවසක් අයියයි මමයි ක්‍රිකට් ගහනකොට බෝලෙ කැලේට ගියා. අයියගෙයි මගෙයි ක්‍රිකට් ක්‍රීඩාවෙ නීතිය තමයි "පන්දුවට පහරදුන් කෙනා බෝලය සෙවිය යුතුයි" කියන එක. නීතියේ හැටියට අයියා බෝලෙ හොයන්න ගියා. අන්නාසි ගාලක් ළඟදි අයියා මට අඬ ගැහුවා. බෝලෙ හොයන්න උදව්වට වෙන්න ඇති එන්න කියන්නෙ, කියල හිතල මම ඇහුණෙ නෑ වගේ බැට් එකෙන් මල් ගහක් තල තල හිටියා. එතකොට අයියා සැර දාල කතා කලා. 

එතනට දඩි බිඩි ගාල දිව්වම "සද්ද කරන්න එපා" කියල අයිය මට සැරකලා. 
මම ඇඟිලි තුඩු වලින් එතනට ඇදුණා. 
"හාවෙක්.." අයියා රහසෙන් කිව්වා.
"බොරු නැතුව ඉන්න.."  මම එයාව ගණන් නොගෙන කිව්ව. අයිය මට සැරකරපු නිසා මම හිටියෙ කේන්තියෙන්. 
"නෑ.. ඇත්ත. මේ.." අන්නාසි පඳුර අස්සට අත දාලා අයියා දුඹුරුපාට හා පැටියෙක්ව ගත්තා. මට පිස්සු හැදෙන්න ආවා. කොහොමහරි  අපි දෙන්න බල්ලාව මඟ ඇරල හාවාව ගේ ඇතුළට ගෙනාවා.
 

හොඳටම බයවෙච්ච හා පැටියා හිටියෙ බිමට ගුළිවෙලා. වලිගයක් තිබුණෙත් නෑ. අයියයි මමයි හා පැටියා ළඟ බිම වැතිරිලා නිරීක්ෂණය කරන්න ගත්තා. එතකොට අපේ අම්මත් එතනට ආවා. අන්තිමේදි තීරණය වුණේ හා පැටියාව ආපහු කැළේට දාන්නයි. හා අම්මා දැන් පැටියව හොයන විදිය අනුවේදනීය විදියට විස්තර කරල අපේ අම්මා අපිව තීරණයට කැමති කර ගත්තා.

කොහොමින් කොහොම හරි අපි අන්තිමේ හැබෑ හාවෙක්වත් දැක්කා. ඒත් කොහොල්ලෑ බබාලගෙ සිත්තමේ හාවෙක් හදන්න අමතක වුණා.  අද රපුන්සල් දිහා බලන ගමන්, මට මතක් වුණේ කොහොල්ලෑ බබාව. මම ගෙදර ගිය ගමන් රපුන්සල්ගෙ රූපයත් ඒ සිත්තමට එකතු කරන්න ඕනෙ.. ඉක්මණින්ම.




මේක කෑම ලෝකයක්නෙ..

රපුන්සල් කෑම කන විදිය බලන්න ලස්සනයි. කංකුං දණ්ඩක් තෝරගෙන මුලින්ම දළු ටික කනවා. ඊටපස්සෙ එච්චර මෝරපු නැති කොළ. ඊටපස්සෙ මෝරපු කොළ. අන්තිමටම දඬු. ඒව කනකොට තමයි අර "කරස් කරස්" සද්දෙ ඇහෙන්නෙ. එයා රස කර කර කන විදියට හිතෙන්නෙ කංකුං තමයි ලෝකෙ තියෙන රසම කෑම කියල. ඉතින් දවසක් ආසාව දරාගන්න බැරුව මම කංකුං දල්ලක් අමුවෙන් කෑව. ඒක රසයි. නැවුම්.. වතුර රසයි. 

රපුන්සල් කන විදියටම කෑම රස විඳින අය පොඩි කාලෙ ඉඳලම මගෙ ජීවිතේ හිටියා. පළවෙනිම කෙනා කිරිඅම්මා. එයා අපේ ගෙදර ආවම එයාට බත් කන්න අම්මා ලස්සන පිඟානක් දෙනවා. ඒක පිඟන් මැටි. ඒකෙ අයින කිරි තේ පාටයි. ඒ පිඟානට අයියයි මමයි දෙන්නම හරි ආසයි. ඒත් අපිට ඒකෙ කන්න දෙන්නෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ අඩියෙ මලක් තියෙන බෙලෙක් පිඟන්. අයියගෙ පිඟානෙ තියෙන මල නිල්, මගේ පිඟානෙ මල රතු.. බිම වැටුණත්, රෝල් වුණත්, වැරදිලා ඒක උඩ ඉඳගත්තත් ඒ පිඟන් කැඩෙන්නෙ නැහැ. පතුරු යනවා විතරයි. පිඟානෙ අඩියෙ තිබුණ මල පේනකන් බත් කෑවොත් එදාට අම්මට හරි සතුටුයි. දැන් ෂැගීට කෑම දෙන්නෙ, මලක් තිබුණ මගෙ පරණ පිඟානෙ. අයියගෙ පිඟාන නැතිවෙලා.

හරි හරි.. ඉතින් කිරිඅම්ම අපේ ගෙදර ආවම අම්ම හදන පිපිඤ්ඤා සලාදෙ මට හරි රසයි කියල හිතෙනවා. මොකද කිරිඅම්ම කනකොට ඇහෙන පිපිඤ්ඤා කෑලි "කරස් කරස්" ගාල හපන සද්දෙ.. මම ඒ සද්දෙට පුදුම ආසයි. කිරිඅම්ම කෑම අනන විදියත් හරි ලස්සනයි. එයා කෑම කන ගමන් කියන පුංචි පුංචි විස්තරත් හරි ලස්සනයි. කෑම මේසෙ තියෙන්නෙ එච්චර රස නැති දේවල් වුණත් කිරිඅම්මට පුළුවන් ඒව හරිම රස දේවල් කියල දැනෙන්න සලස්වන්න.. උදාහරණෙකට ගමු කරවිල රෝද රෝද කපල, ගැඹුරු තෙලේ බැදල එකට ලූනු මිරිස් කපල දාල අපේ අම්ම හදන සලාදය.. මට ඒක ඉස්සර පෙන්නන්න බැහැ. ඒත් කිරිඅම්ම ඒක කනව දැකල මම ඒකට දැන් ආසයි.

ඊළඟ කෑම රස විඳින්නිය..ලොකු අක්කා. එයා අපේ අප්පච්චිගෙ නංගිගේ දුවයි. මට වඩා ගොඩක් වැඩිමල්. අම්ම අප්පච්චිව බැඳල අපේ ගෙදරට එනකොටත් ලොකු අක්කා හිටියා. එයා ළඟ ඉන්න මම කැමතියි. එයා හරි සුවඳයි. මාව බලාගන්න කෙනෙක් නැතිම වුණ දවසට එයා මාව බලා ගත්තා. එතකොට මට කෑම කැව්වෙත් එයා. එළබටු එයා කැමතිම කෑමක්. එයා කැමති නිසා මමත් එළබටුවලට කැමතියි. මුලින්ම එළබටුවල මදය මට කවනවා. පස්සෙ පොත්තත් කවනවා. පොත්ත රස නැහැ. ඒත් එයාට දුක හිතෙයි කියලා මම පොත්තත් ආසාවෙන් කනවා. මට කවන ගමන් එයා කිව්වේ ලස්සන ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළුවුණ හැටි, එයාලගෙ සම්බන්ධෙට ගෑනු ළමයාගෙ නපුරු තාත්තා විරුද්ධ වුණ හැටි.. අන්තිමේදි ගෑනු ළමයා මැරෙනවා.

ඉස්කෝලෙ යන වයසට ආවමත් රස කෑම වලට කැමති ළමයෙක් මට හම්බවුණා. අවුරුදු දෙකක්ම අම්ම උගන්නපු ඉස්කෝලෙ ඉඳල මම පොල්ගහවෙල බර්නාදෙත් එකට ආවෙ තුනේදි. පන්තියෙ අනික් හැමෝම එක වසරෙ ඉඳල එකට හිටපු අය නිසා මට යාලුවෙක් හොයාගන්න අමාරු වුණා. තුන බී පන්තියෙ හිටියා මහත ගෑනු ළමයි සෙට් එකක්. මම ඒ දවස්වල හූනෙක් වගේ නිසා මට එයාලව තවත් ලොකුවට පෙනුණා. ඒ සෙට් එකේ දිගම කොණ්ඩෙ තිබුණ ළමයා සචිනි. එයාගෙ කෑම පෙට්ටිය හරි ලස්සනයි. එක එක දවසට එක එක කෑම. අපේ අම්ම ඉස්කෝලෙ යන නිසා හැමදාම මගේ කෑම පෙට්ටියෙ තියෙන්නෙ බත්. මගේ කෑම පෙට්ටියත් මල් වත්තක් වගේ වුණාට මට ඕනෙ වුණේ සචිනිගෙ කෑමයි. ඔහොම ඉන්නකොට තමයි සචිනි දවසක් ඉන්ටවල් එකේදි ඇහුවෙ "ඒයි, මාරු කරමු ද?" කියලා. මමත් උඩ පැනල කැමතිවුණා. එදා ඉඳල පහ වසරට යනකම්ම අපි දෙන්න කෑම පෙට්ටි මාරු කරගෙනයි කෑවෙ. ඒක අපේ අම්මලා දන්නෙ නැහැ.
පින්නවලට ආවට පස්සෙ මට හම්බුණ කෑම පෙරේතයා ප්‍රීතිමාලි. දොඩම් ගෙඩි දෙකක් උස නැති බටු ඇටය.. හය වසරෙ ඉඳන් එකොළහට එනකම්ම තුන්වෙනි පීරියඩ් එක වෙද්දි අපි දෙන්නා කැන්ටිමේ. එක්කො උණු උණු පොල් රොටී, නැතිනම් රසම රස රෝල්ස්. මේව නැතිවුණ දවසට අපි නිකන් නාටු බල්ලො දෙන්නෙක් වගේ ඉබාගාතෙ ඇවිදිනව. ඒ නිසා කැන්ටිමේ අංකල් කොහොමහරි පොල් රොටී දෙකක් ඉතුරුකරගෙන ඉන්නව. බුක්ෂොප් එකේ අංකලුත් අපිට පැණිකජු තියාගෙන ඉන්න පුරුදුවෙලා හිටිය. ඒලෙවල් රිසල්ට්ස් කියන්න ඉස්කෝලෙ බුක්ෂොප් එකට ගියාම, අංකල් මට පැණිකජු බෝතලයක්ම තෑගි දුන්න. ප්‍රීතිමාලි දන්නවනම් පැලිල මැරෙයි..!!! 

ඉතින් රපුන්සල්, ඔයා නෙමෙයි මගේ ජීවිතේ කෑම වලට ආදරේ කරන එකම කෙනා. තව ගොඩක් අය ඉන්නව. ඉස්සරහට තවත් අය හම්බ වෙයි.