Sunday, December 11, 2016

බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනා හා කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩාගේ ආදර අන්දරය

බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනා ගෙදර ගෙනා දා ඉඳලා මටයි, මයෙ අප්පොච්චිටයි, අම්මාටයි, අයියණ්ඩිටයි තිබ්බ ලොකුම පුරස්නෙ තමා කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩා මේ වැඩේට කොහොම ප්‍රතිචාර දක්වාවිද කියනේක.. කුරුමාණම් සෑත්තරේ කෙළ පැමිණි පූස් තඩියෙක් වෙච්ච චක් බණ්ඩාට, රපුන්සල් එතනා අල්ලා ගැනිල්ල කජු කනවා වාගෙ ලේසි පාසු වැඩක් බව අපි හතරදෙනාගෙම මොළවලට තේරෙනව නෙව ආයුබොවන්ඩ..

රපුන්සල් එතනාව කාමරේ ඇතුළෙම තියාන ආදර පරිස්සමට හැදුවේ ඒක හන්ද නෙව.. හැබැයි ඉතිං ටික ටික කකුල් කෙටි උස් මහත් වෙනකොට රපුන්සල් එතනා කාමරේ ඉන්ට වැඩිය මනාප නැති වෙච්චි.. කාල බීල හමාර කොරාපු හැටියෙ කාමරේ බඩු මුට්ටු පෙරලන්ට තියා ගනිච්චි.. දත් බොල්ලෑව මුවාත තියාගන්ට කාමරේ පුරා තියන වයර් කොටයි, සෙරෙප්පු කෙටියි හපන්ට පටන් ගනිච්චි.. ඒ කරලා ඇඳේ කකුලුයි, පුටු කකුලුයි හපන්ට ගනිච්චි.. අන්තිමේදි මගේ කකුල් කෙටි දෙකත් අර මන්නා පිහිය වාගෙ තියෙන දත් බොල්ලෑවෙන් හපන්ට ගත්තාම මට දෙලොව රත් වෙච්චි.. 

රපුන්සල් එතනාට තියෙන මේ ගායට බේත් හොයලා හරියන්නෙ නැත, උන්දැ පොඩ්ඩක් එළි පහළියට දමලා තණකොල ගොල්ලෙ නටන්ට ඇරියාම හරිය කියලා කීවෙ මයෙ අප්පොච්චි. ඊටත් කොළොම්පුරේ ඉඳල ගමකට ගෑටුවෙ කාමරේ අස්සෙ ලගින්ට නොවේය, ඉර එළිය ඇඟට වැටෙන්ටය, තණකොළ පාගන්ටය කියලා අප්පොච්චිගෙ කතාවට මයෙ අම්මත් පෝර දැම්මෙ නැතෑ. ඉතිං ඕං ඔහොම රපුන්සල් එතනාට කාමරෙන් එළියට පද්දන්ට දොර ඇරුණා නෙව..

එදා හිටන් රපුන්සල් එතනාගෙ වැඩේ එළි පහළියෙමයි ඕං. අපේ අහ කවුරුහරි මිදුලෙනං රපුන්සල් එතනත් මිදුලෙ. එහාට දුවනවා. මෙහාට දුවනවා. උඩ පනිනවා. ගුල් හාරනවා. එකම ගිනි විජ්ජුම්බරයයි ආයුබොවන්ඩ.. ඒක දිහා ඇස් ලාගෙන ඉන්න එකම ඇති වයස අසූවක් විතර ඇත්තෙකුට පරලොව සැපත් වෙන්ට. එතරං දාංගලයක්..!

සෙල්ලං කොරල හති වැටුණම රපුන්සල් එතනා ආපහු අල්ලා ගැනිල්ලත් ලේසි පාසු රාජකාරියක් නොවේ ආයුබොවන්ඩ. එතකොටනං හිතෙනවා මුන්දැ ගෙනත් දාගනිද්දි මයෙ මොළේ තිබුණෙ ඇළේද කියල ඇත්තටම. හතර දෙනා හතර පැත්තෙං වට කොරල, දන්න නූල් සූත්තර ඔක්කොම දාල, ප්‍රසස්ති ගායනා කොරල හා පැටික්කිව අල්ලගන්නෙ..

ඉති මේ බඩි පිණුං, උඩ කරණං, යටි කරණං, හරඹ ඔක්කොම සිද්ධවෙන අතරෙ අපේ කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩා සිල් රැක්කා නෙව. උන්දැ නෙමෙයි රපුන්සල් එතනා දිහෑවෙ ඇහැක් ඇරල බැලුවෙ. ඒ රැක්ක සිල් ඇති උන්දැට සෝවාං වෙන්ට කියලයි මයෙ අප්පොච්චි කියන්නෙ. ඒත් ඉතිං උදේ පාන්දරම කුරුල්ලො අල්ලන්ට කුරුමානම් අල්ලන චක් බණ්ඩා ගැන අපි හැමෝගෙම හිතේ සැක සංකා තිබ්බා ආයුබොවන්ඩ..ආයෙ බොරු කියන්ට ඕනැන්නෙ නෑ.

ඕං ඔහොම ඉන්දැද්දි එක පාරට අපේ ඉහ මොළ රත්වෙන වැඩක් අද හැන්දෑවෙ උණා නෙව.

රපුන්සල් එතනා මිදුලෙ නට නටා උන්නෙ මයෙ අම්මයි, මායි මල් වලට සාත්තු කොරන අතරෙ.. මල් ගස්වල මල පිපුණෙ නැතත් අපි පණදාගෙන සාත්තු කොරනව. රපුන්සල් එතනාට ඉතිං අවුරුදු. වැඩ කෝටියයි. චක් බණ්ඩා කොණකට වෙලා පුරුදු හැටියෙන් තපස් රැක්කා. මේ අල්ල පනල්ලෙ අම්මාටයි මටයි රපුන්සල් එතනා දිහා ඇස් ලන්ට අමතක වෙච්චි. අපි දෙන්නා කදේ දාගෙන මල් වලට වතුර දාන්ට තියාගත්තානෙ. හැරිල බලන්කොට ඇඟ හීතල වෙලා යන දසුනක් දැක්කෙ ආයුබොවන්ඩ..සිල් ඇත්තො, සිල් පවාරණේ කොරල පළවෙනි සිල්පදේ කඩන්ට තනන රඟ..

මයෙ අම්මයි, මායි එතෙන්ට දුවපු හැටියෙන් අයියණ්ඩිට මතක් වුණාලු "නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා.." කවි පදේ.රපුන්සල් එතනාට අඩියක් මෙහායින් චක් බණ්ඩා කුරුමාණම් අල්ලනව. ඒක දැක්කම එහෙව් කලබොල ඇතිවෙන එක ආයෙ අහන්ටත් කාරියක්ද..

මයෙ අම්මයි, මායි මල් ගස් ගලෝගෙන, උඩින් පැනගෙන, දුවං යනකොට අරුම පුදුම දෙයක් සිද්ද උණේ නැතෑ. රපුන්සල් එතනා කරණමක් ගහල පත්බෑවුණා නෙව චක් බණ්ඩාගෙ ඇඟට. ඉන් පස්සෙ දෙන්නා පණ දාගෙන සෙල්ලං කොරන්ට තියා ගනිච්චි. එහෙට දුවනවා, මෙහෙට දුවනවා.. ඕං ඔහොමයි අපේ බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනාගෙයි කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩාගෙයි ආදර අන්දරේ පටන් ගත්තෙ..

ඒත් ඉතිං ගින්දරයි පුළුනුයි එක ගාව තියන්ට හොඳ නෑ කියල අපි දන්න හන්දා මීට පස්සෙ අපි හැමෝම සූදානං සරීරෙං..






No comments:

Post a Comment