Tuesday, December 13, 2016

මගේ ආදරණීය සාවී නොහොත් රපුන්සල් සුරතලී

සිහින් සුදුවන් දිගු ගෙළ ඔසවා පා චුම්බනයෙන් මා අවදි කරන්නී, මගේ දෙපා චලනයෙන් මඳක් විපිළිසරව බිම වැද හොත්තී ය. දිගු සවන් පෙති පැතැලි කරමින්, කුඩා නැහැය ලෙලවන්නී වටකුරු දෑස් උඩුකුරු කොට මා දෙස කෝල බැලුම් හෙලන්නී ය. ඈ බියපත් නොවනාකාරයෙන් දෙපා පොළොව මත තබන මා සයනයෙන් බසින්නේ ඈ කෙරෙහි ඇතිවෙන ආදර ගඟුලැල්ලෙන් මගේ සිත ඔකඳ වෙද්දී ය. එම ගඟුලෙහි නිබඳ කිමිදෙමින්, මා ද ආදරයෙන් නාවන ඈ මගේ ආදරණීය සාවිය යි, රපුන්සල් සුරතලිය යි. 

එකිනෙකට වෙනස් රිද්මයකින් ගැහෙන හදවත් ඇති අපි දෙදෙන, දැන් පුරා තුන් මසක් තිස්සේ එකට වාසය කරන්නෙමු. එකම රිද්මයකට අනුගත වීමට කෙමෙන් කෙමෙන් උගනිමින් සිටින්නෙමු. එකිනෙකාගේ අදහස් හා හැඟුමන් සන්නිවේදනය කිරීමට පොදු භාෂාවක් සොයන්නෙමු. නින්දේදී එකිනෙකා පිළිබඳ දකින සිහින තුළ කිමිදෙන්නෙමු.

එබඳු එක් ස්වප්නයක ඈ තිරිහන් ව වැඩී උන්නා ය. සඳ එළියේ නැහැවෙමින්, ලොම් පිරිමඳිමින් හුන් ඇගේ පිට මතැති කළු පැහැ කුඩා ලපය දිස්න දුන්නේය. ධවල පැහැ ලොම් අතර ප්‍රීතියෙන් කිමිදෙමින් උන් මේ ලපය මා ආදරයෙන් උමතු කරවයි. මගේ ආදරණීය සාවිය අන් සාවියන්ගෙන් වෙන් කර හඳුනාගන්නේ මේ උපන් ලපයෙනි. සඳ එළියේ කාන්තිය උරාගත් ඒ ලපය අතොරක් නැතිව සිප ගැනීමට, මම දුර සිට ලොබ බැන්ඳෙමි. එහෙත් ඉන් ඇගේ සඳ රැස් ස්නානයට බාධා පැමිණෙතැයි අපමණ බියවීමි. එබැවින් ඈ දෙස ඇලවූ නෙත් ඇතිව ඔහේ බලා උන්නෙමි. බලා හිඳීම වේදනාකර ය. වෙහෙසකර ය. එපා කරවන සුළු ය. තරහ උපද්දවන සුළු ය. බලා හිඳීමෙන් හෙම්බත්ව සිටිමි. ඒත් කරන්නට දෙයක් නොමැති බැවින් තවමත් බලා හිඳිමි. කළු ලපයක් පිටේ ඇතිව සඳ රැස් නාන මගේ ආදරණීය සාවිය දෙස උතුරු සුළඟ නැති පාලුවෙන් පීඩිතව බලා හිඳිමි. ආදරයෙන් පිච්චෙමින් බලා හිඳිමි. 

විටෙක මා ප්‍රේමයෙන් මත් කරවන ආදරණීය සාවියගේ පිටෙහි ඇති මේ ලපය, තවත් විටෙක මා හදෙහි වේදනා ගින්නක් අවුළුවා ලයි. ඇගේ ඉරණම තීරණය කල ලපය, තම ඉරණම වෙනස් කරගැනීමේ අදිටනින් එය සඟවාගැනීමට දැරූ අසාර්ථක උත්සාහයක යොදවමින් ඈ වෙහෙස කරවූ ලපය,  ඈ තම අදරැති පවුලෙන් වෙන්කොට මා වෙත ගෙන ඒමට හේතු වූ ලපය, සතියක් පුරාවට වියෝ දුකින් ඈ හඬවන්නට හේතු ප්‍රත්‍ය වූ ලපය.. ඔව්, මේ ලපයට මම අසීමිතව ආදරය කරන තරමටම, අසීමිතව වෛර ද කරමි.

සයනයෙන් බැස පියනඟන මාගේ මිරිවැඩිසඟල මත ඒ කළු ලපයෙහි බර පිටෙහි දරාගෙන සැහැල්ලු පෙනුමකින් ඈ බලා හිඳින්නීය. සඟවන්නට අනේක උපායන් යෙදූවද, ආදර හැඟීම් සැඟවීම මගේ ආදරණීය සාවියට කල නොහැකිය. නමුත් ඈ එම නිෂ්ඵල වෑයම අත් නොහරින්නී, දිනෙන් දින එක් එක් උපායමාර්ග අත්හදා බලන්නී ය. හැමදාම අපේක්ෂා භංගත්වයට පත්වන්නී ය. පසු දිනද පෙරදා උනන්දුවෙන් ම උත්සාහ දරන්නී ය. ඒ අතින් ඈද මාද එක සමාන වන්නෙමු. එම විෂයෙහි අන්ත දුර්වලයෝ වන්නෙමු. 

මගේ ආදරණීය සාවියගෙන් මට සිදුවන අකරතැබ්බ ගැන පමණක් ලියූ මම ආත්මාර්ථකාමියෙකු වෙමි. මා නිසා ඈ විඳි කරදර හිරිහැර අපමණ ය. ඒ සුමුදු සියුමැලි සිරුරට දරාගත නොහෙන තරම දුක් ඈ මා නිසා උසුලාගන්නී, එක වචනයකිනුදු.. නැහැ, එක කන්පට ගැසීමකිනුදු මැසිවිලි නොනඟන්නී ය. ඉදින් ඈ නිරතුරු මගේ ආදරයේ පහස ලැබීමට සුදුසුකම් ලබන්නී ය. ඈ හා මා, මේ කරුණ සම්බන්ධයෙන් වෙනස් ඉරණම් ඇත්තෝ වෙමු. කෙසේ වුවද ඈ මගේ ආදරණීය සාවිය යි, රපුන්සල් සුරතලිය යි. 






No comments:

Post a Comment