Monday, November 14, 2016

වැස්ස හා අනාරක්ෂිත හැඟීම්

මේ දවස්වල හරියට වැස්ස.. දවස පුරාම චිරි චිරි ගගා වතුර වැක්කෙරෙනවා. මම පොඩි කාලෙ ඉඳලම වැස්සට අකමැතියි. සීතල, තෙත පොළොව, වැහි අඳුර, කූඩැල්ලො.. මාව හිරිවට්ටනව. ඒක නිසයි මට හිතෙන්නෙ මම පූස් ගති තියෙන කෙනෙක් කියල. වැස්ස දවසට මම කැමති චක් වගේ උණුසුම් බෝලයක් වෙලා රස්නෙට ඉන්නයි. එළියට බැහැල, වැස්සෙ සුන්දරත්වය විඳින්න මට කිසිම ඕනෙ කමක් නෑ.

වැස්ස, රපුන්සල්ගෙ නිදහසත් සීමා කරල. වැස්ස වෙලාවට එයාව මිදුලට දැම්මොත් පැනගෙන පැනගෙන ගිහින් බුලත් මැස්සක් යටට රිංගනවා. ඊට පස්සෙ එයාව අල්ලන්න සක්කරයටවත් බෑ. ඒ නිසා මේ ටිකේ රපුන්සල් හිටියෙ ගේ ඇතුළෙමයි. 

සීතලෙන් ගතවෙන මේ දවස් ටිකේ දන්නෙම නැතුව රපුන්සල්ගෙ කෑම ඉවර වෙලා. ෆ්‍රිජ් එක ඇතුළෙ තිබුණ හැමදේම අවසන්. අනික, වැස්ස දවසට රපුන්සල්ට වෙනද වගේ දෙගුණයක් බඩගිනියි. රපුන්සල්ට රෑට කන්න එක කංකුං දණ්ඩක්වත් නැති බව දැනගන්නකොට හවස හතයි. කළුවරත් වැටිල. ඒ මදිවට වහිනවා. ඒත් හා මැණිකව බඩගින්නෙ තියන්න බෑ. එයාගෙ දිලිසෙන අහිංසක ඇස් මගේ දිහා බලන් ඉන්නෙ කෑම වේල පරක්කු මොකද කියලයි.

ටෝච් එකත් අරන් එළියට බැස්සෙ කංකුං කඩන්නයි. අපේ ගෙදර පිටිපස්සෙ මිදුලෙ එළවලු වවල තියෙන්නෙ ගෙදර අයට කන්න. නිතර නිතර කඩන නිසා එතන කංකුං ලියලලා නෑ. එහෙන් මෙහෙන් කොළ කඩල, යංතං කංකුං මිටක් කඩාගන්න පුළුවන් වුණා. උදේ වෙනකන් පිරිමහගන්න ඇති..

කංකුං ගේන තුරු රපුන්සල් දොරකඩට වෙලා බලාගෙන ඉඳලා. එයා පැනගෙන පැනගෙන ඇවිත් බස බස ගාලා කංකුං අතුරුදහන් කරන්න පටන් ගත්තා. කන ගමන් එක ඇහැක් මගේ දිහාවට හරවගෙනයි එයා ඉන්නෙ. බැරිවෙලාවත් මම එයාගෙ ඇස් මානෙන් මෑත් වුනොත් කංකුං දණ්ඩත් කටේ තියාගෙනම මාව පේන විදියට හිස හරවනවා. 

ඒක දැකල මට මතක් වුණේ, මම පොඩි කාලෙ අම්මා ඉස්කෝලෙ යන්න සාරිය අඳිනකොට මම බලාගෙන ඉන්න විදියයි. ඒක හරිම සුන්දරයි. තාමත් අම්මා ඇඳුම් අඳිනවා බලාගෙන ඉන්න මම කැමතියි. එතකොට මට එයා ගැන සෑහෙන ආදරයක් ඇති වෙනවා.

කෑම කාලා, බඩ පුරවාගත්තට පස්සෙ රපුන්සල්ගෙ අදහස මගේ ඇඳට නැඟගන්නයි. දැන් දැන් හරිම කරදරයක් වෙන තරමටම රපුන්සල් ඇඳට නඟිනවා. වතාවක් මම එයාට රිදෙන්නම පාරක් ගැහුවා. නැතුව එයාව හදන්න ක්‍රමයක් නෑ. ඒත් රපුන්සල් හිතන්නෙ ඒ ගැහුවෙත් ආදරේට කියලයි. පුරු පුරු ගානවා වගේ සද්දයක් කරලා ආයෙත් දුවගෙන ඇවිත් තුරුලටම එනවා.

මම එයාට කිසිම පීඩාවක් කරන්න අකමැති බව රපුන්සල්ට ඉවෙන් වගේ තේරෙනවා. හරි ඒකෙ ගැටළුවක් නෑ කියල හිතමු. ඒත් මට තියෙන ප්‍රශ්නෙ, රපුන්සල් මගේ ගැන හිතන විදියටම අනෙක් හැමෝම ගැන හිතන බව පේන්න තිබීමයි. මගෙන් ලැබෙන ආරක්ෂාව, රැකවරණය මේ ලෝකෙ හැම කෙනෙකුගෙන්ම ලැබේවි කියලයි එයා හිතන්නෙ. නාඳුනන ඕනෙම කෙනෙක් දෙන කෑම රපුන්සල් කනවා. එයාව අත ගාන්න ඉඩ දෙනවා. මට ඒ හැම වෙලාවෙම දරුණු අනාරක්ෂිත බවක් දැනෙනවා. 

සමහර වෙලාවට මම ඕනෙවට වඩා හිතනවා. රපුන්සල් හාවෙක්. එයාට කවුරුත් හිරිහැර කරන්නෙ නෑ.. ඒත් එහෙම හිතීමෙන් මට ඇතිවෙන අනාරක්ෂිත හැඟීම් නැතිවෙන්නෙ නෑ. ඔයා ඕනෙවට වඩා හිතනවා කීමෙන් මගේ හැඟීම් පාලනය වෙනවද? ඒකෙන් වෙන්නෙ මම ඒ හැඟීම් ප්‍රකාශ කරන එක සීමා කිරීමක් විතරයි. හිතෙන දේ ඒ විදියටම හිතෙනවා. 

No comments:

Post a Comment