Tuesday, December 13, 2016

කෝකටත් තෛලය

මීට මාසෙකට විතර කලින් රපුන්සල්ට සමේ රෝගයක් හැදිලා දවස් ගාණක් තිස්සෙ දුක් වින්දා. එයාගෙ ලස්සන ලොම් හැළුණා. නහය ගාව අලි තුවාලයක්. සනීපෙන් ඉන්නකොට හරිම හුරතල් රපුන්සල් ළඟට, ලෙඩ වුණාට පස්සෙ කිට්ටු වෙන්න කැමති වුණේ මම විතරයි. එයාගෙ සෙල්ලම් කිරිල්ල කෙසේ වෙතත් කෑම බීම ගන්න එකත් සෑහෙන්න අඩු වුණා. හැම තිස්සෙම නිදාගන්න මාන බැලුවා. දවසම කොහෙ හරි මුල්ලකට වෙලා වැතිරිලා හිටියා. නිතරම කසන නිසා තුවාල හොඳ වුණෙත් නැහැ. බෙහෙත් දැම්මාම රපුන්සල් ඒවා ලෙව කන නිසා, තුවාලවලට සැර බෙහෙතක් දාන්න මම බයවුණා. ගොඩ වෙදකම් කරලා පලක් නැති බව මට තේරුණ නිසා, දවස් දෙකක්ම බෙහෙත් ගන්න එක්ක ගියත් ඩොක්ට හිටියෙ නැහැ. කරන්න කිසිම දෙයක් නැති තැන, මම කෝකටත් තෛලෙ වුණ ඉන්ටනෙට් එකේ පිහිට හෙව්වා. 

ලෝකෙ වෙනත් රටවල හාවන්ගේ ලෙඩ රෝගවලට වෙද හෙදකම් කරන්න වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒත් ලංකාවෙ සියල් සතුන්ගේ ලෙඩ දුක් සඳහා කෝකටත් තෛලෙ වගේ ඉන්නෙ පශු වෛද්‍යවරු. බල්ලන්ට, පූසන්ට, ගවයන්ට, කුකුළන්ට, තාරාවන්ට වගේම හාවන්ටත් බෙහෙත් කරන්නෙ ඔවුන්.. එහෙම බලද්දි, ශ්‍රී ලංකාව වගේ රටක හාවෙක් ඇතිකිරීම තරමක් අමාරු වැඩක්. මොකද හාවො කියන්නෙ බල්ලන්ට පූසන්ට සාපේක්ෂව තරමත් දුර්වල සතුන් විශේෂයක්. එහෙම තත්වයක් යටතෙ හාවෙකුට අසනීප වුණාම ටිකක් කරදරයි.

ඉතින් රපුන්සල්ගෙ අසනීපය ගැන තොරතුරු හොයනවිට මට දැනගන්න ලැබුණා මේ හාවන්ට බහුලව හැදෙන චර්ම රෝගයක් කියලා. ලොම් එකට ඇලිලා, ගුළියක් වගේ හැදිලා, සමත් එක්කම ගැලවී වැටෙනවා. නිතර ඇතිවෙන කසනසුළු ගතිය නිසා තුවාල සුව වෙන්නේ නැහැ. ප්‍රතිකාරය එන්නතක්. ඒත් වෛද්‍යවරයෙකුගෙ ලියවිල්ලක් නොමැතිව මේ බෙහෙත ගන්න බැහැ. අනෙක, කොමස් කරපු මම දන්නෙ නැහැනෙ එන්නතක් ලබාදෙන්න.. ඩොක්ට එන්නේ තව දින තුනකින් කියලයි දැනගන්න ලැබුණේ. එතරම් කාලයක් රපුන්සල් මේ විදියට දුක් විඳිනවා බලාගෙන ඉන්නෙ කොහොමද? මම හිටියෙ ගිනිදර ගොඩක.

කොහොඹ තෙල් ගැන මට කිව්වෙ අප්පච්චි. ඕනෑම චර්ම රෝගයක් සුව කරන බලේ කොහොඹ තෙල්වල තියෙනවාලු. වසක් විසක් නැති ස්වභාවික දෙයක් නිසා කොහොඹ තෙල් ටිකක් රපුන්සල්ගෙ ගාලා බලමු කියලා අප්පච්චි කිව්වා. මමත් ඒ තුත්තිරි ගහේ එල්ලෙන්න කැමති වුණේ වෙන කරන්න කිසිම දෙයක් නොතිබුණු නිසා.

පළමු දවස
කොහොඹ තෙල් සුමිහිරි සුගන්ධවත් තෙලක් නෙමෙයි. රසකුත් නැතුව ඇති. අපෝ කොහොඹ තෙල් කීයටවත් රස දෙයක් නම් වෙන්න බෑ. රපුන්සල් කොහොඹ තෙල් තදින්ම අප්‍රිය කලා. ඒත් මම බලෙන්ම වගේ එයාගෙ ඇඟ පුරාම කොහොඹ තෙල් ගෑවා. රපුන්සල් කාමරේ පුරාම දුවන්න තියා ගත්තා. අප්පිරියාවෙන්, අසහනයෙන්.. ඊටපස්සෙ පිස්සුවෙන් වගේ නාන්න පටන් ගත්තා. නාකි සීයෙක් වගේ පෙනුමක් ඇතුව එයා මුළු දවසම මගෙත් එක්ක තරහෙන් හිටියා. නමුත් එයා තුවාල කසන එක ටිකක් අඩු වෙලා තිබුණා. 

දෙවැනි දවස
කොහොඹ තෙල් නිසා එකට ඇළුණු ලොම් හන්දා ලෙඩ පෙනුමක් තිබුණත්, රපුන්සල් පහුවදා තරමක් ප්‍රබෝධමත්ව හිටියා. වෙනදා වගේ ආසාවෙන් කෑවා, බිව්වා. තුවාල කසන එක නතරම වෙලා තිබුණා. මුළුගැන්වෙන ගතියත් අඩුයි.

තෙවැනි දවස
ඩොක්ට එන්නෙ අදයි. රපුන්සල්ට සෑහෙන්න සුවයි. මම හවස් වරුවෙ එයාව බෙහෙත් ගන්න එක්කන් ගියා. ඩොක්ට රපුන්සල්ට එන්නත් ලබාදුන්නා. මම ඔහුට කොහොඹ තෙල් ඔසුව ගැනත් කිව්වා. හාවාට නිතර නිතර කොහොඹ තෙල් ආලේප කිරීමේ වරදක් නොමැති බව ඔහු පැවසුවා.

දැන් මම සෑම දින තුනකට වරක් රපුන්සල්ගෙ සිරුරේ කොහොඹ තෙල් ගානවා. මේ වෙනතෙක් ඈට ආයෙත් චර්ම රෝගයක් වැළඳුණේ නැහැ. තුවාල ඇති වුණෙත් නැහැ. කසනවා දැක්කෙත් නැහැ. කිනිතුල්ලන්ගෙන්, මැක්කන්ගෙන් හානියක් ඇතිවුණෙත් නැහැ. මගේ ආදරණීය සාවිය දිලිසෙන ලොම් ඇතිව, සතුටෙන්, නිරෝගීමත්ව වැඩෙනවා. 


මගේ ආදරණීය සාවී නොහොත් රපුන්සල් සුරතලී

සිහින් සුදුවන් දිගු ගෙළ ඔසවා පා චුම්බනයෙන් මා අවදි කරන්නී, මගේ දෙපා චලනයෙන් මඳක් විපිළිසරව බිම වැද හොත්තී ය. දිගු සවන් පෙති පැතැලි කරමින්, කුඩා නැහැය ලෙලවන්නී වටකුරු දෑස් උඩුකුරු කොට මා දෙස කෝල බැලුම් හෙලන්නී ය. ඈ බියපත් නොවනාකාරයෙන් දෙපා පොළොව මත තබන මා සයනයෙන් බසින්නේ ඈ කෙරෙහි ඇතිවෙන ආදර ගඟුලැල්ලෙන් මගේ සිත ඔකඳ වෙද්දී ය. එම ගඟුලෙහි නිබඳ කිමිදෙමින්, මා ද ආදරයෙන් නාවන ඈ මගේ ආදරණීය සාවිය යි, රපුන්සල් සුරතලිය යි. 

එකිනෙකට වෙනස් රිද්මයකින් ගැහෙන හදවත් ඇති අපි දෙදෙන, දැන් පුරා තුන් මසක් තිස්සේ එකට වාසය කරන්නෙමු. එකම රිද්මයකට අනුගත වීමට කෙමෙන් කෙමෙන් උගනිමින් සිටින්නෙමු. එකිනෙකාගේ අදහස් හා හැඟුමන් සන්නිවේදනය කිරීමට පොදු භාෂාවක් සොයන්නෙමු. නින්දේදී එකිනෙකා පිළිබඳ දකින සිහින තුළ කිමිදෙන්නෙමු.

එබඳු එක් ස්වප්නයක ඈ තිරිහන් ව වැඩී උන්නා ය. සඳ එළියේ නැහැවෙමින්, ලොම් පිරිමඳිමින් හුන් ඇගේ පිට මතැති කළු පැහැ කුඩා ලපය දිස්න දුන්නේය. ධවල පැහැ ලොම් අතර ප්‍රීතියෙන් කිමිදෙමින් උන් මේ ලපය මා ආදරයෙන් උමතු කරවයි. මගේ ආදරණීය සාවිය අන් සාවියන්ගෙන් වෙන් කර හඳුනාගන්නේ මේ උපන් ලපයෙනි. සඳ එළියේ කාන්තිය උරාගත් ඒ ලපය අතොරක් නැතිව සිප ගැනීමට, මම දුර සිට ලොබ බැන්ඳෙමි. එහෙත් ඉන් ඇගේ සඳ රැස් ස්නානයට බාධා පැමිණෙතැයි අපමණ බියවීමි. එබැවින් ඈ දෙස ඇලවූ නෙත් ඇතිව ඔහේ බලා උන්නෙමි. බලා හිඳීම වේදනාකර ය. වෙහෙසකර ය. එපා කරවන සුළු ය. තරහ උපද්දවන සුළු ය. බලා හිඳීමෙන් හෙම්බත්ව සිටිමි. ඒත් කරන්නට දෙයක් නොමැති බැවින් තවමත් බලා හිඳිමි. කළු ලපයක් පිටේ ඇතිව සඳ රැස් නාන මගේ ආදරණීය සාවිය දෙස උතුරු සුළඟ නැති පාලුවෙන් පීඩිතව බලා හිඳිමි. ආදරයෙන් පිච්චෙමින් බලා හිඳිමි. 

විටෙක මා ප්‍රේමයෙන් මත් කරවන ආදරණීය සාවියගේ පිටෙහි ඇති මේ ලපය, තවත් විටෙක මා හදෙහි වේදනා ගින්නක් අවුළුවා ලයි. ඇගේ ඉරණම තීරණය කල ලපය, තම ඉරණම වෙනස් කරගැනීමේ අදිටනින් එය සඟවාගැනීමට දැරූ අසාර්ථක උත්සාහයක යොදවමින් ඈ වෙහෙස කරවූ ලපය,  ඈ තම අදරැති පවුලෙන් වෙන්කොට මා වෙත ගෙන ඒමට හේතු වූ ලපය, සතියක් පුරාවට වියෝ දුකින් ඈ හඬවන්නට හේතු ප්‍රත්‍ය වූ ලපය.. ඔව්, මේ ලපයට මම අසීමිතව ආදරය කරන තරමටම, අසීමිතව වෛර ද කරමි.

සයනයෙන් බැස පියනඟන මාගේ මිරිවැඩිසඟල මත ඒ කළු ලපයෙහි බර පිටෙහි දරාගෙන සැහැල්ලු පෙනුමකින් ඈ බලා හිඳින්නීය. සඟවන්නට අනේක උපායන් යෙදූවද, ආදර හැඟීම් සැඟවීම මගේ ආදරණීය සාවියට කල නොහැකිය. නමුත් ඈ එම නිෂ්ඵල වෑයම අත් නොහරින්නී, දිනෙන් දින එක් එක් උපායමාර්ග අත්හදා බලන්නී ය. හැමදාම අපේක්ෂා භංගත්වයට පත්වන්නී ය. පසු දිනද පෙරදා උනන්දුවෙන් ම උත්සාහ දරන්නී ය. ඒ අතින් ඈද මාද එක සමාන වන්නෙමු. එම විෂයෙහි අන්ත දුර්වලයෝ වන්නෙමු. 

මගේ ආදරණීය සාවියගෙන් මට සිදුවන අකරතැබ්බ ගැන පමණක් ලියූ මම ආත්මාර්ථකාමියෙකු වෙමි. මා නිසා ඈ විඳි කරදර හිරිහැර අපමණ ය. ඒ සුමුදු සියුමැලි සිරුරට දරාගත නොහෙන තරම දුක් ඈ මා නිසා උසුලාගන්නී, එක වචනයකිනුදු.. නැහැ, එක කන්පට ගැසීමකිනුදු මැසිවිලි නොනඟන්නී ය. ඉදින් ඈ නිරතුරු මගේ ආදරයේ පහස ලැබීමට සුදුසුකම් ලබන්නී ය. ඈ හා මා, මේ කරුණ සම්බන්ධයෙන් වෙනස් ඉරණම් ඇත්තෝ වෙමු. කෙසේ වුවද ඈ මගේ ආදරණීය සාවිය යි, රපුන්සල් සුරතලිය යි. 






Sunday, December 11, 2016

බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනා හා කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩාගේ ආදර අන්දරය

බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනා ගෙදර ගෙනා දා ඉඳලා මටයි, මයෙ අප්පොච්චිටයි, අම්මාටයි, අයියණ්ඩිටයි තිබ්බ ලොකුම පුරස්නෙ තමා කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩා මේ වැඩේට කොහොම ප්‍රතිචාර දක්වාවිද කියනේක.. කුරුමාණම් සෑත්තරේ කෙළ පැමිණි පූස් තඩියෙක් වෙච්ච චක් බණ්ඩාට, රපුන්සල් එතනා අල්ලා ගැනිල්ල කජු කනවා වාගෙ ලේසි පාසු වැඩක් බව අපි හතරදෙනාගෙම මොළවලට තේරෙනව නෙව ආයුබොවන්ඩ..

රපුන්සල් එතනාව කාමරේ ඇතුළෙම තියාන ආදර පරිස්සමට හැදුවේ ඒක හන්ද නෙව.. හැබැයි ඉතිං ටික ටික කකුල් කෙටි උස් මහත් වෙනකොට රපුන්සල් එතනා කාමරේ ඉන්ට වැඩිය මනාප නැති වෙච්චි.. කාල බීල හමාර කොරාපු හැටියෙ කාමරේ බඩු මුට්ටු පෙරලන්ට තියා ගනිච්චි.. දත් බොල්ලෑව මුවාත තියාගන්ට කාමරේ පුරා තියන වයර් කොටයි, සෙරෙප්පු කෙටියි හපන්ට පටන් ගනිච්චි.. ඒ කරලා ඇඳේ කකුලුයි, පුටු කකුලුයි හපන්ට ගනිච්චි.. අන්තිමේදි මගේ කකුල් කෙටි දෙකත් අර මන්නා පිහිය වාගෙ තියෙන දත් බොල්ලෑවෙන් හපන්ට ගත්තාම මට දෙලොව රත් වෙච්චි.. 

රපුන්සල් එතනාට තියෙන මේ ගායට බේත් හොයලා හරියන්නෙ නැත, උන්දැ පොඩ්ඩක් එළි පහළියට දමලා තණකොල ගොල්ලෙ නටන්ට ඇරියාම හරිය කියලා කීවෙ මයෙ අප්පොච්චි. ඊටත් කොළොම්පුරේ ඉඳල ගමකට ගෑටුවෙ කාමරේ අස්සෙ ලගින්ට නොවේය, ඉර එළිය ඇඟට වැටෙන්ටය, තණකොළ පාගන්ටය කියලා අප්පොච්චිගෙ කතාවට මයෙ අම්මත් පෝර දැම්මෙ නැතෑ. ඉතිං ඕං ඔහොම රපුන්සල් එතනාට කාමරෙන් එළියට පද්දන්ට දොර ඇරුණා නෙව..

එදා හිටන් රපුන්සල් එතනාගෙ වැඩේ එළි පහළියෙමයි ඕං. අපේ අහ කවුරුහරි මිදුලෙනං රපුන්සල් එතනත් මිදුලෙ. එහාට දුවනවා. මෙහාට දුවනවා. උඩ පනිනවා. ගුල් හාරනවා. එකම ගිනි විජ්ජුම්බරයයි ආයුබොවන්ඩ.. ඒක දිහා ඇස් ලාගෙන ඉන්න එකම ඇති වයස අසූවක් විතර ඇත්තෙකුට පරලොව සැපත් වෙන්ට. එතරං දාංගලයක්..!

සෙල්ලං කොරල හති වැටුණම රපුන්සල් එතනා ආපහු අල්ලා ගැනිල්ලත් ලේසි පාසු රාජකාරියක් නොවේ ආයුබොවන්ඩ. එතකොටනං හිතෙනවා මුන්දැ ගෙනත් දාගනිද්දි මයෙ මොළේ තිබුණෙ ඇළේද කියල ඇත්තටම. හතර දෙනා හතර පැත්තෙං වට කොරල, දන්න නූල් සූත්තර ඔක්කොම දාල, ප්‍රසස්ති ගායනා කොරල හා පැටික්කිව අල්ලගන්නෙ..

ඉති මේ බඩි පිණුං, උඩ කරණං, යටි කරණං, හරඹ ඔක්කොම සිද්ධවෙන අතරෙ අපේ කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩා සිල් රැක්කා නෙව. උන්දැ නෙමෙයි රපුන්සල් එතනා දිහෑවෙ ඇහැක් ඇරල බැලුවෙ. ඒ රැක්ක සිල් ඇති උන්දැට සෝවාං වෙන්ට කියලයි මයෙ අප්පොච්චි කියන්නෙ. ඒත් ඉතිං උදේ පාන්දරම කුරුල්ලො අල්ලන්ට කුරුමානම් අල්ලන චක් බණ්ඩා ගැන අපි හැමෝගෙම හිතේ සැක සංකා තිබ්බා ආයුබොවන්ඩ..ආයෙ බොරු කියන්ට ඕනැන්නෙ නෑ.

ඕං ඔහොම ඉන්දැද්දි එක පාරට අපේ ඉහ මොළ රත්වෙන වැඩක් අද හැන්දෑවෙ උණා නෙව.

රපුන්සල් එතනා මිදුලෙ නට නටා උන්නෙ මයෙ අම්මයි, මායි මල් වලට සාත්තු කොරන අතරෙ.. මල් ගස්වල මල පිපුණෙ නැතත් අපි පණදාගෙන සාත්තු කොරනව. රපුන්සල් එතනාට ඉතිං අවුරුදු. වැඩ කෝටියයි. චක් බණ්ඩා කොණකට වෙලා පුරුදු හැටියෙන් තපස් රැක්කා. මේ අල්ල පනල්ලෙ අම්මාටයි මටයි රපුන්සල් එතනා දිහා ඇස් ලන්ට අමතක වෙච්චි. අපි දෙන්නා කදේ දාගෙන මල් වලට වතුර දාන්ට තියාගත්තානෙ. හැරිල බලන්කොට ඇඟ හීතල වෙලා යන දසුනක් දැක්කෙ ආයුබොවන්ඩ..සිල් ඇත්තො, සිල් පවාරණේ කොරල පළවෙනි සිල්පදේ කඩන්ට තනන රඟ..

මයෙ අම්මයි, මායි එතෙන්ට දුවපු හැටියෙන් අයියණ්ඩිට මතක් වුණාලු "නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා.." කවි පදේ.රපුන්සල් එතනාට අඩියක් මෙහායින් චක් බණ්ඩා කුරුමාණම් අල්ලනව. ඒක දැක්කම එහෙව් කලබොල ඇතිවෙන එක ආයෙ අහන්ටත් කාරියක්ද..

මයෙ අම්මයි, මායි මල් ගස් ගලෝගෙන, උඩින් පැනගෙන, දුවං යනකොට අරුම පුදුම දෙයක් සිද්ද උණේ නැතෑ. රපුන්සල් එතනා කරණමක් ගහල පත්බෑවුණා නෙව චක් බණ්ඩාගෙ ඇඟට. ඉන් පස්සෙ දෙන්නා පණ දාගෙන සෙල්ලං කොරන්ට තියා ගනිච්චි. එහෙට දුවනවා, මෙහෙට දුවනවා.. ඕං ඔහොමයි අපේ බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනාගෙයි කුරුමානම් විදානෙලාගේ චක් බණ්ඩාගෙයි ආදර අන්දරේ පටන් ගත්තෙ..

ඒත් ඉතිං ගින්දරයි පුළුනුයි එක ගාව තියන්ට හොඳ නෑ කියල අපි දන්න හන්දා මීට පස්සෙ අපි හැමෝම සූදානං සරීරෙං..