Monday, November 14, 2016

සීතල උතුරු සුළඟ හා උණුසුම් උදා හිරු එළිය

රපුන්සල් එයාගෙ මුළු සිරුරම බෝලයක් කරගෙන, කාමරේ මුල්ලකට වෙලා නිසොල්මනේ ඉන්නවා. ඇස් මළානික වෙලා. කන් හැකිළිලා. එයාට මහන්සියි. මම එයාට කරදර නොකර ඉන්නවා. 

එකපාරටම උඩ පැනපු රපුන්සල්, ගුවනෙදි එයාගෙ පුංචි හිසයි කකුලුයි අඹරවල, කන් හොලවනවා.හා කරණමක්... එයා හරිම ප්‍රීතියෙන්. 

ගුලියක් වගේ බිම වැතිරුණ රපුන්සල්, එයාගෙ පස්සෙ කකුල් වේගයෙන් බිම ගහනවා. එයා ඉන්නෙ කේන්තියෙන්. අම්මෝ.. වැඩි භජනය අහිතකරයි..!!

විඩාබර දවසක අවසානයෙ මම බාගෙට මැරිලා ගෙදර එනවා. රපුන්සල් කරණමක් ගහගෙන දුවලා එන්නෙ මාව පිළිගන්නයි. මගේ හිතත් සතුටෙන් ඔකඳ වෙන හැටි මට දැනෙනවා. 

උතුරු සුළඟෙ සීතල නිසා අද මම ඉන්නෙ දුකෙන්. රපුන්සල් බිම දිගේ පෙරළි පෙරළි ඇවිත් මගේ කකුලෙ ඇඟිලි හෙමින් ලෙව කනවා. හිරු එළියේ උණුසුම වැදී මගේ හිත තුටු පහටු වෙනවා.

රපුන්සල් හාවෙක්. මම මනුස්ස ප්‍රාණියෙක්. අපිට එකිනෙකාව තේරුම් ගන්න භාෂාවක් නෑ. නමුත් ඕනෙ තරම් වෙලාව සහ උනන්දුව තියෙනවා, එකිනෙකාව තේරුම් ගැනීමට.. එකිනෙකා තුටු පහටු වෙන අන්දමින් ක්‍රියාකිරීමට.. ඒ නිසා මම ඈව නිරීක්ෂණය කරනවා. ඈ මාව නිරීක්ෂණය කරනවා. අවසානයේදී අපි එකිනෙකා හා අදහස් ප්‍රකාශ කරගන්නවා. මේ වෙලාව හා උනන්දුව ඇතිවුණේ මම රපුන්සල්ට ආදරේ කරන අතරෙ, ඈත් මට පෙරළා ආදරය කරන නිසයි. 

මට අසීමිතව ආදරේ කරන රපුන්සල්ට වෙලාව වෙන් කරන එක මට අතපහු වුණොත් රපුන්සල්ට කොහොම දැනේවිද? මම හිතනවා. මම ආදරෙන් කරන පිරිමැදීම්, මගේ ඇල්ම බැල්ම යන දේට හුරුවුණ රපුන්සල්, මගේ අවධානය නිබඳවම බලාපොරොත්තු වීම නවත්වන්න බැහැ. මම එයාව නොසලකා හැරියොත්, නිසැකවම එයාගෙ හිත තැලේවි. උතුරු සුළඟෙ සීතලට එයාගෙ සිරුර මිදේවි. අපේක්ෂා භංගත්වය සිත් වේදනා ගේනවා. රපුන්සල් ඒ තත්වයට පත්වෙන එක මට ඉවසන්න අමාරුයි. 

අනෙක් අතට, මට රපුන්සල් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න බැරිනම් ඈට ආදරය කරන බව ප්‍රකාශ කරන එක හරිම නින්දිත ක්‍රියාවක්. සතෙක් වුණත් රපුන්සල්ට හැඟීම් දැනීම් තියෙනවා. අවසානයේදී රපුන්සල් හේතුවක් නොමැතිව, ඕනෙවට වඩා සිතා, හිත කරදර ගත් බව පැවසීම ඇතිවුණ සිත් තැවුල නැති කිරීමට ප්‍රමාණවත් වෙන්නෙත් නෑ. 

සැබෑ ආදරය ප්‍රභාෂ්වරයි. ලොබ බැඳීමකින් තොරව අසීමිතව ලබා දෙන්න හැකියි. හරියටම, රපුන්සල් මට ලබා දෙන ආකාරයට.. මමත් උත්සාහ දරන්නේ රපුන්සල් වෙත ඒ ප්‍රභාෂ්වර ආදරය ලබා දෙන්නයි. මට හැකි උපරිමයෙන්, සීමාකිරීම් නැතිවම, හරියට උණුසුම් හිරු එළිය වගේ.. හිටි හැටියේ හමා ඇවිත් සිසිල දෙන උතුරු සුළඟ වගේ නොවෙයි.

උතුරු සුළඟ, ආශ්වාදජනකයි. නමුත් එහි ඇඟ හිරිවට්ටන සීතලක් මිස උණුහුමක් දැනෙන්නෙ නෑ. මම කැමති හිරු එළියටයි. හැමදාම මට දෙන්න හැකි වුණෙත් හිරු එළියයි. එබැවින් උතුරු සුළඟ මට එපා. මා ළඟ හැමදාම තිබූ උදා හිරු එළිය පමණක් ඇති. ඒ උදා හිරු එළියෙන් රපුන්සල් නෑවෙනු ඇති..





වැස්ස හා අනාරක්ෂිත හැඟීම්

මේ දවස්වල හරියට වැස්ස.. දවස පුරාම චිරි චිරි ගගා වතුර වැක්කෙරෙනවා. මම පොඩි කාලෙ ඉඳලම වැස්සට අකමැතියි. සීතල, තෙත පොළොව, වැහි අඳුර, කූඩැල්ලො.. මාව හිරිවට්ටනව. ඒක නිසයි මට හිතෙන්නෙ මම පූස් ගති තියෙන කෙනෙක් කියල. වැස්ස දවසට මම කැමති චක් වගේ උණුසුම් බෝලයක් වෙලා රස්නෙට ඉන්නයි. එළියට බැහැල, වැස්සෙ සුන්දරත්වය විඳින්න මට කිසිම ඕනෙ කමක් නෑ.

වැස්ස, රපුන්සල්ගෙ නිදහසත් සීමා කරල. වැස්ස වෙලාවට එයාව මිදුලට දැම්මොත් පැනගෙන පැනගෙන ගිහින් බුලත් මැස්සක් යටට රිංගනවා. ඊට පස්සෙ එයාව අල්ලන්න සක්කරයටවත් බෑ. ඒ නිසා මේ ටිකේ රපුන්සල් හිටියෙ ගේ ඇතුළෙමයි. 

සීතලෙන් ගතවෙන මේ දවස් ටිකේ දන්නෙම නැතුව රපුන්සල්ගෙ කෑම ඉවර වෙලා. ෆ්‍රිජ් එක ඇතුළෙ තිබුණ හැමදේම අවසන්. අනික, වැස්ස දවසට රපුන්සල්ට වෙනද වගේ දෙගුණයක් බඩගිනියි. රපුන්සල්ට රෑට කන්න එක කංකුං දණ්ඩක්වත් නැති බව දැනගන්නකොට හවස හතයි. කළුවරත් වැටිල. ඒ මදිවට වහිනවා. ඒත් හා මැණිකව බඩගින්නෙ තියන්න බෑ. එයාගෙ දිලිසෙන අහිංසක ඇස් මගේ දිහා බලන් ඉන්නෙ කෑම වේල පරක්කු මොකද කියලයි.

ටෝච් එකත් අරන් එළියට බැස්සෙ කංකුං කඩන්නයි. අපේ ගෙදර පිටිපස්සෙ මිදුලෙ එළවලු වවල තියෙන්නෙ ගෙදර අයට කන්න. නිතර නිතර කඩන නිසා එතන කංකුං ලියලලා නෑ. එහෙන් මෙහෙන් කොළ කඩල, යංතං කංකුං මිටක් කඩාගන්න පුළුවන් වුණා. උදේ වෙනකන් පිරිමහගන්න ඇති..

කංකුං ගේන තුරු රපුන්සල් දොරකඩට වෙලා බලාගෙන ඉඳලා. එයා පැනගෙන පැනගෙන ඇවිත් බස බස ගාලා කංකුං අතුරුදහන් කරන්න පටන් ගත්තා. කන ගමන් එක ඇහැක් මගේ දිහාවට හරවගෙනයි එයා ඉන්නෙ. බැරිවෙලාවත් මම එයාගෙ ඇස් මානෙන් මෑත් වුනොත් කංකුං දණ්ඩත් කටේ තියාගෙනම මාව පේන විදියට හිස හරවනවා. 

ඒක දැකල මට මතක් වුණේ, මම පොඩි කාලෙ අම්මා ඉස්කෝලෙ යන්න සාරිය අඳිනකොට මම බලාගෙන ඉන්න විදියයි. ඒක හරිම සුන්දරයි. තාමත් අම්මා ඇඳුම් අඳිනවා බලාගෙන ඉන්න මම කැමතියි. එතකොට මට එයා ගැන සෑහෙන ආදරයක් ඇති වෙනවා.

කෑම කාලා, බඩ පුරවාගත්තට පස්සෙ රපුන්සල්ගෙ අදහස මගේ ඇඳට නැඟගන්නයි. දැන් දැන් හරිම කරදරයක් වෙන තරමටම රපුන්සල් ඇඳට නඟිනවා. වතාවක් මම එයාට රිදෙන්නම පාරක් ගැහුවා. නැතුව එයාව හදන්න ක්‍රමයක් නෑ. ඒත් රපුන්සල් හිතන්නෙ ඒ ගැහුවෙත් ආදරේට කියලයි. පුරු පුරු ගානවා වගේ සද්දයක් කරලා ආයෙත් දුවගෙන ඇවිත් තුරුලටම එනවා.

මම එයාට කිසිම පීඩාවක් කරන්න අකමැති බව රපුන්සල්ට ඉවෙන් වගේ තේරෙනවා. හරි ඒකෙ ගැටළුවක් නෑ කියල හිතමු. ඒත් මට තියෙන ප්‍රශ්නෙ, රපුන්සල් මගේ ගැන හිතන විදියටම අනෙක් හැමෝම ගැන හිතන බව පේන්න තිබීමයි. මගෙන් ලැබෙන ආරක්ෂාව, රැකවරණය මේ ලෝකෙ හැම කෙනෙකුගෙන්ම ලැබේවි කියලයි එයා හිතන්නෙ. නාඳුනන ඕනෙම කෙනෙක් දෙන කෑම රපුන්සල් කනවා. එයාව අත ගාන්න ඉඩ දෙනවා. මට ඒ හැම වෙලාවෙම දරුණු අනාරක්ෂිත බවක් දැනෙනවා. 

සමහර වෙලාවට මම ඕනෙවට වඩා හිතනවා. රපුන්සල් හාවෙක්. එයාට කවුරුත් හිරිහැර කරන්නෙ නෑ.. ඒත් එහෙම හිතීමෙන් මට ඇතිවෙන අනාරක්ෂිත හැඟීම් නැතිවෙන්නෙ නෑ. ඔයා ඕනෙවට වඩා හිතනවා කීමෙන් මගේ හැඟීම් පාලනය වෙනවද? ඒකෙන් වෙන්නෙ මම ඒ හැඟීම් ප්‍රකාශ කරන එක සීමා කිරීමක් විතරයි. හිතෙන දේ ඒ විදියටම හිතෙනවා. 

Saturday, November 12, 2016

නාඳුන්න පුංචි මනුස්ස ප්‍රාණියා

රපුන්සල් කැරට් කන්න ආසයි. කැරට් අලය ලැබුණු හැටියෙ එයා ඒක කාගෙන කාගෙන යන්නෙ කවුරුහරි එයාගෙන් ඒක උදුරාගනීවි කියල බයෙන් වගේ. කැරට් අලය හපනකොට, ඒකෙ රළු කොණක් හැම වෙලාවෙම රපුන්සල්ගෙ නහයෙ වදිනවා. මේ විදියට හැමදාම වෙලා, රපුන්සල්ගෙ නහය තුවාල වෙලා. එයා ඉන්නෙ වේදනාවෙන්..

රපුන්සල්ගෙ අසරණකම ගැන ගෙදර හැමෝටම දුකයි. ඉතින් එයාවත් කූඩෙක දමාගෙන අම්මයි මායි තකහනියක් ගියේ වෙට් කෙනෙකුට පෙන්නලා බෙහෙතක් ගන්නයි. වෙට් ක්ලිනික් එක තියෙන්නෙ පලතුරු කඩේකටයි, පොත් කඩේකටයි මැද්දේ. රපුන්සල්වත් තියාගෙන අම්මයි මායි එතන තිබුණ පුටු දෙකක වාඩි වෙලා බලාගෙන හිටියෙ වෙට් එනකං.

කූඩෙ ඇතුළෙ ඉඳගෙන රපුන්සල් එයාගෙ ලොම් පීරමින් හිටියෙ හරිම සන්සුන් ලීලාවෙන්. එක කණක් නවල අරගෙන, පුංචි අත් දෙකෙන් අල්ලලා සෝදනවා. ඊට පස්සෙ අනිත් කණ.. අපේ අම්මා මට එහා පැත්තෙන් ඉඳගෙන කල් මැරුවෙ, හැමදාම වගේ පොතක් කියවමින්. මට පොතක් අරන් එන්න අමතක වුණා. ඒ නිසා මගේ අවධානය යොමු වුණේ පලතුරු කඩේට අල්ලලා හදල තිබුණ ප්ලාස්ටික් බඩු කඩේ හිටපු පොඩි බබෙකුටයි.

කොළ පාට ටී ෂර්ට් එකකට, තද නිල් ඩෙනිම් කොට කලිසමක් ඇඳපු ඒ බබාට අවුරුදු දෙකක් විතර ඇති. අත් දෙක පිටිපස්සට බැඳගෙන, කඩේ ඉස්සරහ වැලි පොළොවෙ එහෙ මෙහෙ යන්නෙ කඩිසර ගමනින්. අත් දෙක පස්සට බැඳගෙන ඉන්න පුරුද්ද එයාට එන්න ඇත්තෙ තාත්තාගෙන්. එහෙ මෙහෙ දුව පනින ගමන් එයාගෙ දිලිසෙන පුංචි ඇස් අවට හැම දෙයක්ම වේගෙන් ග්‍රහණය කරගත්තා. එක පාරටම එයා රපුන්සල්ව දැක්කා.

රපුන්සල්ව දාලා හිටපු රෝස පාට කූඩෙ දිහා එයා ඇස් පුංචි කර කර බැලුවෙ සැකයෙන්. මේ ටවුම මැද්දෙ හාවෙක් ඉන්න එක එයාට පුදුමයක්. මේ ඇත්ත හාවෙක් ද? ටෙඩී හාවෙක් ද? එයා උනන්දුවෙන් බැලුවා. කූඩුව ඇතුළෙ රපුන්සල්ගෙ චලනය වීම්, ටිකෙන් ටික එයාගෙ සැක සංකා නැති කලා. මේ ඉන්නෙ ඇත්ත හාවෙක් කියලා තහවුරු වුණාට පස්සෙ එයාගෙ ඊලඟ ඉලක්කය වුණේ හාවා ළඟට කිට්ටු කිරීමයි.

හාවාව ඇස ගැටෙන්න කලින් එයාලගෙ ප්ලාස්ටික් බඩු කඩේ මිදුලෙ වෘත්තාකාර චලිතයක යෙදුණු බබාගෙ කඩිමුඩි ගමන, ටික ටික ඕවලාකාර චලිතයක් බවට හැරුණා. දැන් එයාගෙ ගමන් මඟ වැටිල තියෙන්නෙ ප්ලාස්ටික් බඩු කඩේ පහුකරගෙන, පලතුරු කඩේ ඉස්සරහින්. පාරෙ එක කොණක් හාවා ඉන්න කූඩුව ඉස්සරහින් වැටෙනවා. එතනදි මොකක්දෝ අදිසි බලයකින් ගමනේ වේගය අඩාල වෙනවා. බබා එතනින් යන්නෙ ඉබි ගමනකිනුයි..

මෙහෙම යන එක ගමන් වාරයකදි, පෙට්‍රල් ඉවර වෙලා මම හිතන්නෙ.. බබාගෙ ෆැන්ටසි මෝටර් රථය හාවා ඉස්සරහදි දඩස් ගාලා නතර වුණා. ආපහු ස්ටාට් කරන්න හැදුවත් හරි ගියේ නෑ.

"මොකද වාහනේට?"
මම ඇහුවෙ උදව් කරන්නයි.

"අනේ මන්දා. එක පාරට නතර වුණා."
පුංචි රියදුරු මහත්තයා කිව්වා.  ඊට පස්සෙ රපුන්සල් දිහාට ඇස් හරවලා.
"මොකද හාවට?" කියල මගෙන් ඇහුවා.

"අනේ එයාගෙ නහය තුවාල වෙලානෙ.. බෙහෙත් ගන්න ආවෙ."
මම දුකෙන් කිව්වා.

"හ්ම්ම්.. ඩොක්ට ආවා." බබා අත දික් කරලා පෙන්නුවේ සත්ත්ව සායනයට ටිකක් ඈතින් තියෙන ළමා රෝග සායනයයි.
"මට ලෙඩ වුණාම යන්නෙ එතනටයි."

"මෙයාව පෙන්නන්න වෙන්නෙ මේ ඩොක්ටට නෙ."
මම සත්ත්ව සායනයෙ දොරේ ගහල තිබ්බ පෝස්ටරේ හාවෙකුගෙ රූපය බබාට පෙන්නුවා.

"ඕහ්.." ඒක වැටහුණ පාටක් බබා ඇඟෙව්වා.
නහය තුවාල වෙලා අමාරුවෙන් ඉන්න රපුන්සල් ගැන ඒ බබාත් හදවතින්ම දුක් වෙන බව පේන්න තිබුණා.

ටිකෙන් ටික වෙලාව ගතවෙනකොට එදා වෙට් එන්නෙ නැති බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් අම්මයි මමයි ලෑස්ති වුණේ ආපහු ගෙදර එන්නයි. රපුන්සල් ගැන කණගාටුවෙන් හිටපු බබා ආයෙමත් අපේ ළඟට ඇදුනා.

"යනවද? එතකොට හා බබාට බෙහෙත්?"
එයා ඇහුවෙ කරදර මුහුණකින්..

"ඩොක්ට නෑනෙ. වෙන දවසක එනවා.." මම කිවුවා.

"ඕහ්.." බබාත් ගොඩක් දුක්වුණා.

අපි යන්න හදනකොට බබා යමක් කියන්න උත්සාහ කරන බව කිව්වෙ අපේ අම්මා.
අපිට වටහාගන්න අසීරු වචන කෑලි ගොඩක් සහ අංග චලන වලින් මට තේරුනෙ මෙහෙම දෙයක්..

"ඊයෙ මටත් ලෙඩ වුණා. එතකොට අම්මා බෙහෙත් පෙත්තක් පෙව්වා. ඊට පස්සෙ නිදාගත්තම මට හොඳ වුණා. ඔයාත් හාවට ඒවා දෙන්න."

මේ අදහස වචන වලට පෙරල ගන්න එයාට බැරි වුණා. ඒක ගැන එයා හිටියෙ ලොකු හිතේ කරදරේකින්. එයාගෙ ඇඟේ හැම සෛලෙකම පේන්න තිබුණ අසීමිත කරුණාව මට දැනුණා. මොකක්ද මන්දා නොකිලිටි නැවුම් ආදරයක් ඒ බබාගෙ හැම හැසිරීමකම පිරිල තිබ්බා. දවසක් ගතවෙලත් මට ඒ බබාගෙ හැම අංග චලනයක්ම මතකයි. එයාව දැක්කම මට මතක් වුණේ අපූගේ ලෝකය පොතේ අපූගෙ පුතාව.. රපුන්සල්ට, මේ දැන් එයා නාඳුන්න පුංචි මනුස්ස ප්‍රාණියෙකුගෙ අසීමිත ආදරේට ලක්වුණ බව දැනුම් දෙන්න බැරි වීම ගැන පසුතැවීමක් එක්ක මම ආපහු ආවා.