Sunday, January 1, 2017

ආදර කිවිසුම්

රපුන්සල් ගෙනා දා ඉඳලා මට හෙම්බිරිස්සාව.. රපුන්සල් පැන පැන යනකොට, කසනකොට, සතුටින් උඩ පනිනකොට එයාගෙ ලස්සන සිනිඳු ලොම් පූසෙකුගෙ වගේ හතර අතට වීසි වෙනවා.. දවසක් රපුන්සල් එළිමහනෙ වාඩි වෙලා ඉර එළිය නානකොට, දහස් ගණන් ලොම් එයාගෙ ඇඟෙන් ඊ තල වගේ දස දෙස විසිවෙනවා මම දැක්කා. 


සීතල දවසට රපුන්සල් ඉන්නෙ බෝලයක් වෙලා. පුංචි අත් දෙක ඇතුළට නවලා බඩ යටින් තියාගෙන, ලොම් පුම්බලා බෝලයක් වෙන රපුන්සල් හරි හුරතල්.. ඒත් ඒ වෙලාවට මට ඉවරයක් නැතුව කිවිසුම් යනවා. උදේ නැගිටපු ගමන් කිවිසුම් පෙළක් යවන මම රපුන්සල් කාමරේ එහෙ මෙහෙ දුවන හැම පාරක් ගානෙම කිවිසුම් යවනවා.

මට තියෙන ආදරය හින්දා, අම්මලා එයාව ගෙදරින් යවමු කියාවි කියලා මගේ හිතේ තියෙන බය නිසා මම ඒ කිවිසුම් යාම සහ රපුන්සල් අතරෙ සම්බන්ධයක් නැති ගාණට ඉන්නවා. කිවිසුම් යාම සහ රපුන්සල් කියන්නෙ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක් කියල අම්මාටයි අප්පච්චිටයි පෙන්වන්න මම අනේකවිධ උප්පරවැට්ටි යොදනවා. 

උණු වතුර බොන්න, නාන්න පොඩි කාලෙ ඉඳලම අකමැති මම හදිසියේම උණු වතුර පාවිච්චියට ඇබ්බැහි වුණේ මොකද කියලා අම්මයි අප්පච්චියි කල්පනා කරනවා. නිතර කිවිසුම් යන නිසා සතියක් ගාණෙ මාව බෙහෙත් ගන්න එක්කන් යනවා. කිවිසුම් යාමට හේතුව රපුන්සල් කියලා ඩොක්ට හිතාවි කියලා, ගෙදර හාවෙක් ඇති කරන බවත්, හාවා වැඩි වශයෙන් ඉන්නෙ මගේ කාමරේ බවත් කියන එක මම හිතා මතාම මඟ හරිනවා. 

මගේ හැසිරීම ගැන මටත් වඩා හොඳින් දන්න අම්මාටත් අප්පච්චීටත් මේ ආදර කිවිසුම් ප්‍රශ්නය ඇස නොගැටී තියෙන්න බෑ කියන කරුණ, රපුන්සල් ගැන බොළඳ විදියට හිතමින් අමතක කරල දාන්න මම උත්සාහ කරනවා. මම නින්දට ගිය පසු අම්මාත් අප්පච්චීත් මුණු මුණු ගාමින් ආදර කිවිසුම් ප්‍රශ්නය ගැන කතා කරනවා මට ඇහෙනවා.

හාවුන්ගේ ලොම්, මූත්‍රා සහ හා බෙටි හෙම්බිරිස්සාව නිතර හැදෙන මම වගේ අයට අසාත්මික බව කියැවෙන ලිපි සිය ගණනක් මට අන්තර්ජාලයෙන් හම්බ වෙනවා. රපුන්සල් කියල හාවෙක් මම ඇති කරන බවත්, ඒ හාවාට මම අසීමිතව ආදරේ කරන බවත්, ඒ ආදරේ නිසාම හෙම්බිරිස්සාවෙන් පීඩා විඳින බවත් දන්න මගේ ගැන නිතර කරදර වෙන හොඳ මිතුරෙක් මේ ප්‍රශ්නෙට එක එක විසඳුම් යෝජනා කරමින් ඉන්නවා. සතුන්ට ආදරේ කිරීම එකක් බවත් ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තැබීමට යාම තව එකක් බවත් දෙවැන්න එක්තරා අන්දමක උමතු වැඩක් බවත් ඔහු මට නිරන්තරයෙන් මතක් කර දෙනවා. රපුන්සල් ආයෙත් හිටපු තැනටම ගිහින් දැමීම හොඳම විසඳුම බව හැමදාම පවසන ඔහු සමඟ මම හැමදාම අමනාප වෙනවා. ඒත් ඔහු කියන්නේ ඇත්ත බව හිතමින් මගේ ගොන්කම පසක් කරගෙන පසුවදා ආයෙත් මිතුරු වෙනවා.

මේ හැම දෙයක්ම සිදුවෙන අතරෙ රපුන්සල් ඒ ගැන මෙලෝ අදහසක් නැතුව කං කුං ගිල දමන යන්ත්‍රයක් බවට පත් වී ඉන්නවා. ආදර කිවිසුමකින් මම පීඩා විඳින හැම මොහොතකම ඒ රපුන්සල්ට මගේ ඇති ආදරය පෙන්වන ආකාරය යැයි සිතන ඈ, කිවිසුම් ශබ්දයෙන් ඔකඳ වී බඩ පිනුමක් ගසා තවත් හා ලොම් සිය දහස් ගණනක් මා වෙත පා කර එවා පෙරළා මට ද ආදරය ප්‍රකාශ කරනවා.





No comments:

Post a Comment