Friday, May 12, 2017

හා ගමන් බිමන්

රපුන්සල් එයාගෙ තට්ටු දෙකේ හා මන්දිරේ පදිංචියට ගිය දා ඉඳලා ගමන් බිමන් සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවුණා. එයා වලිගෙ ගිනිගත්ත හනුමා වගේ පැන පැන යන වේගෙට අපිට පස්සෙන් යන්නත් බෑ. අනික අපිට හාවෙක්ව ෆලෝ කරනවට වඩා වැදගත් වැඩ පහුගිය දවස්වල තිබුණා. 

ගමන් බිමන් අඩුවුණා කියල රපුන්සල් කන බොන එක නතර කළෙත් නෑ. බඩ පැලෙන්න කෑවා. ඒ හින්දා වැඩි දවස් නොගිහින් රපුන්සල් වට්ටක්කා ගෙඩියක් බවට පත්වුණා. සුදුයි කළුයි වට්ටක්කා ගෙඩියක්.. අවුරුදු කාලෙ රපුන්සල් බලන්න ආපු අය එයා මහතයි කියල විහිළු කරන්නත් ගත්තා. 

ඒ නිසා මම තීරණය කළා එයාව කෙට්ටු කරන්න ව්‍යායාම ලබා දෙන්න. ඒ නිසා දැන් හැමදාම උදේට රපුන්සල් ඇවිදින්න යනවා.  ඒත් එයාව ඇවිදින්න යවන එක ටිකක් භයානක වැඩක්. හා කිලෝමීටර්වලින් ගත්තොත් වත්ත කෙළවරට යනවා කියන්නෙ හරියට යාපනේ ගියා වගේනෙ. ඊටත් තට්ට තනියම.. අනික රපුන්සල් ගෑනු ළමයෙක්.  කොහොමත් දැන් ඇහැට කණට පේන තරුණ හාවියක්නෙ. පරිස්සම් කරන්න වෙනවා.

උදේ හා කූඩුවෙ දොර ඇරියම පැනගෙන පැනගෙන එළියට යන රපුන්සල් ආපහු ගෙදරට සේන්දු වෙන්නෙ කළුවර වැටීගෙන එනකොට. නම කිව්වට එන්නෙත් නෑ. ගස්සගෙන යන්න යනවා. ගොරවනව. දවල්ට කන්න දේකුත් එයාම හොයාගන්නව. කොහෙහරි ගහක් යටට වෙලා කාල කාල වැටිල නිදාගන්නව. කුරුල්ලෙක් දැක්කොත් ඒ පස්සෙන් යනව. සමනළයෙක් දැක්කොත් ඒ පස්සෙනුත් යනවා. හැම කොළේම හපල බලනව. වැඩ කෝටියයි. මේ ඔක්කොම වෙනකං මම ගැහි ගැහී බලාගෙන ඉන්නව.

මේක දැකල මට මං හොස්ටල් එකේ හිටපු අවුරුදු හතර මතක් වුණා. මුල්ම කාලෙ හිතුවෙ පූර්ණ නිදහසට ටිකට් එක හම්බුණා කියලයි. යාළුවොත් ගොඩයි. නොසෑහෙන්න ට්‍රිප් ගියා. එක එක ප්‍රොජෙක්ට්ස් කළා. හිතෙන හිතෙන දේ කෑවා බිව්වා. හැමෝම එක්ක කතාබහ කළා. පිස්සෙක් වගේ ජීවත් වුණා. ඒත් ඉක්මණටම තේරුම් ගියා ගෙදරින් පිට ලෝකෙ හිතපු තරම් සුන්දර නෑ කියල. අව්වට ගියාම පුංචි වේදනාවක් එක්ක සම පිච්චිල යනව වගේ ගෙදරින් එළියෙ ලෝකෙ හිතටත් ගතටත් වේදනා දෙන්න පටන් ගත්තා.  අවසානෙදි ගෙදරින් ඈත් වුණාට වඩා දෙතුන් ගුණේක වේගෙකින් ආපහු ගෙදරටම ආවා.

රපුන්සලුත් කොහේ ගියත් රෑ වෙද්දි ගෙදරට සේන්දු වෙනවා. එයාව හිර කරගෙන හදපු කාලෙට වඩා දැන් හීලෑ ගතියයි. මාත් එක්ක යාළුයි. ඉස්සරට වඩා ඉවසනවා. ටික ටික ඕවා හරියයි. ඇවිදල ඇවිදල හති වැටිල, තිබහෙන්, බඩගින්නෙන් පීඩාවට පත්වෙලා කළුවරත් එක්ක ආපහු මගේ ළඟට ආපු රපුන්සල් ගෙදර ඇතුළට දාන ගමන් මං හිතුවා.

Friday, April 14, 2017

සෙන්ටර් ඔෆ් ඇටෙන්ෂන්

මේ දවස්වල අවුරුදු. හැම අවුරුද්දෙම මේ කාලෙට අපේ ගෙදර එන අමුත්තන්ගෙ නිරන්තර අවධානය යොමු වුණේ චක්ට. එයා දඟ වැඩ කරන හුරතල් පූසෙක් හින්දා හැම කෙනෙක්ම චක්ට කැමතියි. පොඩි අයව දැක්කම චක්ට පිස්සු හැදෙනවා. එයාල කෑ ගහ ගහ චක්ගෙ පස්සෙන් දුවනකොට චක්ගෙ මොළේ සෙල්ලම් හෝමෝනය දෝරෙ ගලනවා වෙන්නෙ ඕනෙ. ඇස් දෙක ජිල් බෝල වගේ කරගෙන, වලිගෙ කෙකටිය මලක් වගේ අගින් නවාගෙන එහෙ මෙහෙ ඇවිදින්නෙ ඒ නිසා. කට්ටිය ගෙදර එනකොට ලස්සනට ඉන්න එපැයි. ඒ හින්දා අහල පහල ගෙවල්වල හැළි වළංවලට ඔළුව දාල දැලි ගාගන්නෙත් නෑ. උදේම නැගිටල වරුවක් තිස්සෙ මූණ හෝදල ප්‍රියමනාප විදියට ඉන්නවා. පොඩ්ඩක් කකුලෙ වෙළිලා අඟර දඟර පෑවම කොකිස් කෑල්ලක්, කැවුම් කෑල්ලක්, තව ගොඩක් කරුණාවන්ත බබෙක් අපේ ගෙදර ඇවිත් ඉන්න වෙලාවක කේක් කෑල්ලක් එහෙමත් හම්බ වෙන හින්දා චක් අවුරුද්දෙ මේ කාලෙට හරි කැමතියි. 

අනේ ඉතිං ගිය අවුරුද්ද වෙනකං තමයි මේ ඔක්කොම. දැන් පොඩ්ඩො ඔක්කොමලා අපේ ගෙදර එන්නෙ රපුන්සල්ව බලන්නයි. චක් උන්නද මළාද කියලා කාටවත් ගාණක් නෑ. ගෙදර එන බබාලා කවුරුත් දැන් කැවුම්, කොකිස් කන්නෙ කෑම මේසෙට ඉඳගෙන නෙමෙයිනෙ. රපුන්සල්ගෙ ගෙදර ගාව හිටගෙනයි. කෑම බීම අතිනුත් චක්ට වාසියක් නැති පාටයි. පොඩ්ඩක් එළිපහළියට ගිහිල්ලා, කකුලෙ ඇතිල්ලුණාට කාටවත් දැනුණෙත් නෑ. කවුරුත් බැලුවෙත් නෑ. හැමෝගෙම ඇස් අර අලුත ගෙනා හා තඩියා දිහාවෙ. චක්ට ඉතින් කේන්තිය ඉවසගන්න බෑ.

සාලෙ ටීපෝව උඩට නැගල බැලුවා. එතකොට අප්පච්චි එළෙව්වා. කෑම මේසෙට නැගලා බැලුවා. එතකොට අම්මා 'චිප් චිප්' කිව්වා. අයියා ළඟට ගිහින් එබිකම් කෙරුවා. එයා පණ දාගෙන කාටදෝ කෝල් කරනවා. ඤාව් කිව්වත් බැලුවෙ නෑ. මගේ ළඟට ආවා. මාත් පාඩම් කරනවනෙ. උකුලට අත් දෙක තියල බැලුවට වැඩක් වුණේ නෑ. මිදුලට ගිහින් බලු පැටියාට කිට්ටු කෙරුවා. එයා ගෙරෙව්වා. ආපහු ඇවිත් කුස්සියේ එල්ලල තියෙන කැවුම් මල්ල දිහාත් බැලුවා. ඒක උස වැඩියි. චක්ට දුකයි. තරහයි. 'මේ ඔක්කොටම මුල අර හා තඩියා.' චක් හිතුවා. අන්තිමේදි චක් කල්පනා කළා කොහොමහරි හැමෝගෙම අවධානය ගන්න ක්‍රමයක් ගැන. 

ඊ ළඟට ගෙදරට කවුරුහරි එනකම් චක් මඟ බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සෙ අපේ ගෙදරට ආපු කට්ටිය දැක්කෙ නැති ගාණට මිදුලෙ රඹුටන් ගහ යට ගල් මේසෙ උඩට වෙලා නින්දක් දාගෙන වගේ හිටියා. එයාලත් චක්ව ගණන් ගත්තෙ නෑ. හැමෝම රපුන්සල් දිහා බල බල ඉඳල ගේ ඇතුළට ගියාම චක් හෙමින් සීරුවෙ පුළුන් කොට්ට කකුල් තිය තිය ගිහිල්ලා එයාලගෙ වාහනේ ඇතුළට රිංග ගත්තා. සීට් එක උඩ බෝලයක් හැදිල සැපට නිදා ගත්තා. කවුරුත් දැක්කෙ නෑ.

හැමෝම කාල බීලා, රපුන්සල්ව හුරතල් කරලා, ආගිය තොරතුරු කතා කරලා ආපහු යන්න ලෑස්ති වෙලා වාහනේ ළඟට ආවා. 'හානේ මෙන්න පූසෙක් වාහනේ ඇතුළේ..' එක බබෙක් කෑ ගැහුවා. චක් මුකුත් නෑහුණ ගාණට නිදාගෙන හිටියා. හොරට නිදාගෙන ඉන්න අය කණ ගාව ක්ලේමෝ බෝම්බයක් පිපුරුවත් ඇහැරෙන්නෙ නෑ කියනවනෙ. 'පූසෙක්?? වාහනේ ඇතුළේ??' අපේ ගෙදර හැමෝටම දෙලොව රත්වුණා. 'චක් මැණික අපිව දාල යන්න හදනවද?' මම එක පිම්මට ගිහින් චක්ව වඩා ගත්තා. සැලසුම තිතටම වැඩ කළා. චක් නිකං රත්තරනින් හදාපු කරඬුවක් වගේ මගේ දෝතෙන් ගේ ඇතුළට ගියා. හැමෝම එයාව අතගෑවා. අම්මා කේක් කෑල්ලකුත් දුන්නා. නැතිවුණු අවධානෙත් ආපහු ලැබුණා.

Thursday, February 2, 2017

නියං සමයට රපුන්සල්ට අළුත් කෑම බීම

වැස්ස නැති නිසා අපිට විතරක් නෙමෙයි, රපුන්සල්ටත් කරදර ඇතිවෙලා.  හැමදාම ටීවී එකේ නියඟය ගැන ප්‍රවෘත්ති.. පෙබරවාරෙ මාසෙම වැස්ස නැතිවේවිලු. ආහාර හිඟයක් ඇති වේවිලු. අතිරේක ආහාර හොයාගන්නලු. දවසකට කං කුං මිටි දෙකක් ඉවර කරන රපුන්සල්ට ආහාර හිඟයේ බලපෑම තදින් දැනෙනවා. එයාගෙ ප්‍රධාන ආහාරය වුණු කං කුං දැන් හිඟයි. ඉස්සර වෙල් ඉස්මත්තෙ සරුවට වැඩුණු කං කුං වැල් එකින් එක වේලීගෙන යනවා. දවස ගාණෙ කං කුං හොයන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඉතිං මමයි අප්පච්චියි දැන්ම ඉඳන් රපුන්සල්ව අළුත් කෑමවලට හුරු කරන්න තීරණය කලා. 

1. රෝස මල්, වතුසුදු මල්, ඉද්ද මල් ඇතුළු තවත් මල්

මල් පූජා කලාට පස්සෙ විසිකරන පරවුණු මල් රපුන්සල් ආසාවෙන් කන බව මුලින්ම දැක්කෙ මමයි. එදා ඉඳන් පූජා කරපු මල් හැම එකක්ම වගේ රපුන්සල්ගෙ බඩට ගියා. මේ මල් අතරෙන් රෝස මල් වලට රපුන්සල් ගොඩක් කැමතියි. රතු, රෝස, සුදු රෝසමල්වලට රපුන්සල් ආසා වුණත් කහ රෝස මල්වලට අකමැතියි.

2. බෝංචි

මිදුලේ අයිනක අප්පච්චි හැදූ බෝංචි වැල්වල කරල් පිරිලා. දවසක් කඩපු බෝංචි කරල් කිහිපයක් අප්පච්චි රපුන්සල්ට දුන්නා. ඒත් රපුන්සල් කැමති කොළ බෝංචි වලට විතරයි. කහ බෝංචිවලට අකමැතියි.

3. කැරට් පොතු. බීට් පොතු. අල පොතු, කෙසෙල් ලෙලි

මේ එළවලු උයනකොට ඉවත දමන පොතු රපුන්සල්ට දීලා බලමු කිව්වේ අම්මා. කැරට් පොතු වලට නම ඉතින් රපුන්සල් කොහොමත් කැමතියිනෙ. කං කුං කන තරම් ආසාවෙන් නොකෑවත්, රපුන්සල් මේ පොතු වර්ග කැමැත්තකින් කන බව පේන්න තිබුණා.

4. වෙරළු කොළ

රපුන්සල්ගෙ තට්ටු දෙකේ හා මන්දිරේට අඩි පහක් හයක් ඈතින් වෙරළු ගහක් තියෙනවා. වත්තේ ඇවිදින ගමන් රපුන්සල් මේ වෙරළු ගහ යටටත් ගියා. බිම වැටුණු ඉදිච්ච වෙරළුත් කෑවා. කොළත් කෑවා. නියඟය තිබුණත් වෙරළු ගහේ කොළ අඩු වෙන්නෙ නැති නිසා රපුන්සල් වෙරළු කොළ කන්න කැමතිවීම හොඳ දෙයක්.

5. ජපන් බටු කොළ

සමහරු මේවාට සිංගප්පූරු කොළ කියනවා. මේවාගෙන් හදන මැල්ලුම් රසයි. ඒ නිසා රපුන්සල් මේවාට කැමතිවීම පුදුමයක් නෙමෙයි. මමත් මේ කොළ වර්ගයට කැමතියිනෙ.

6. ඊ තණ

"ඊ තණ පඳුරෙත් හාවො සිටින්නා" කියන රබන් පදේ මතක් වෙලා මම දවසක් රපුන්සල්ට ඊ තණ ඉති කීපයක් කඩල දුන්නා. කපන්න කාලෙ ළං වුණාම අප්පච්චිගෙ කොණ්ඩෙ වගේ පේන ඊ තණ, නියඟ කාලෙටත් සරුවට වැඩෙනවා. රපුන්සල් මේවාට ගොඩක් කැමති වුණා. ඒ වගේම මේවා හරිම ගුණයි ලු. ඒත් කඩල පැය බාගයක් ගතවෙන්න කලින් මේ තෘණ වර්ගය වේලිලා යනවා. ඒ නිසා කඩපු ගමන් තණකොළ මිටිය වතුර භාජනේක දාන්න වෙනවා. එතකොට රපුන්සල් දවස පුරාම කැමැත්තෙන් කනවා.

තවත් අළුත් කෑම ඉදිරියේදී..


පුංචි අමුත්තෝ

බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනා, අළුත් ගෙදරට ගොඩ වැදිලා දන්නෙම නැතුව මාසෙකුත් ගතවුණා. දැන් අපේ ගෙදරින් එළියට බැහැපු ගමන් රපුන්සල් විවේක සුවයෙන්, හා ගෙදර සඳළුතලේට වෙලා වැතිරිලා ඉන්න හැටි පේනවා. එහෙම නැත්නම් එයාගෙ කාමරේ දොරෙන් මුහුණ විතරක් එළියට දාගෙන විපරමෙන් බලාගෙන ඉන්නවා. ඒත් නැත්නම්, යට තට්ටුවට බැහැල පිස්සුවෙන් වගේ කෑම කනවා. එහෙමත් නැත්නම්, යට තට්ටුවේ මුල්ලක තියෙන එයාගෙ බාත් රූම් එකට ගිහින් ලැජ්ජාවෙන් ඉන්නවා. 

තට්ටු දෙකේ හා මන්දිරේ පදිංචියට ගිය අලුත, රපුන්සල්ව රෑට විතරක් ගේ ඇතුළට ගත්තෙ පුංචි පැටියාට තනියම ඉඳල හුරු නැති නිසා. ඒත් සතියක් යන්න කලියෙන් රෑටත් තනියම එයාගෙ ගෙදර ඉන්න රපුන්සල් පුරුදු වුණා. ඒත් ජනවාරි මාසෙ පුරාම තිබුණ ඇටකෝටු හිරිවට්ටන සීතල නිසා රපුන්සල් පීඩා වින්දා, මම වගේම. ඒකටත් අපි විසඳුමක් හොයාගත්තා. රෑ සීතල ඇතුලට එන්න කලින්, හවස හයට හය හමාරට විතර අපි රපුන්සල්ගෙ කූඩුව උණුසුම් බ්ලැන්කට් වලින් වහනවා. පහුවදා උදේ බ්ලැන්කට් ඉවත් කරනකං රපුන්සල් උණුහුමට ඉන්නවා.

රපුන්සල් තට්ටු දෙකේ හා මන්දිරේ පදිංචි වුණාට පස්සෙ තමයි ගෙදරට එන ගොඩක් දෙනා දැනගත්තෙ අපේ ගෙදර හාවෙක් ඉන්න විත්තිය. අපේ ගෙදර හාවෙක් ඉන්න බවත්, හාවා ගෑනු සතෙක් බවත්, නම රපුන්සල් බවත්, කන්නේ කංකුං හා බතල කොළ බවත්, ඉඳහිට කැරටුත් දෙන බවත්, දැන් ජීවත් වෙන්නෙ හාවාටම හැදූ කූඩුවක බවත්, දැකපු ගමන් පිස්සු හැදෙන තරම් ලස්සන බවත්, ඊයේ පංති ගියවිට හාවාව ඇස් දෙකෙන්ම දැකපු බවත්, එහේ ගියොත් හාවා බලන්න පුළුවන් බවත්, සමහරවිට අතගෑමට ලැබෙනු ඇතිබවත් ගමේ පුංචි ඈයොන්ගෙ කන් වලට වැටෙන්න වැඩි දොහක් ගියේ නෑ.

ඊට පස්සෙ අපේ ගෙදරට හිටිහැටියේ පොඩි පොඩි අය කඩාවදින්න පටන් ගත්තා. කං කුං, බතල කොළ, කැරට්, එරබදු කොළ, ඊ තණ වගේ රපුන්සල් කන්න ආසා දේවල් අරන් එන්න එයාලා අමතක කලේ නෑ. කවුරුහරි තමන්ව බලන්න ආපු වෙලාවට එහෙ මෙහෙ දුව පැනලා, ගෙනාපු දෙයක් කාලා, කරණම් දෙක තුනක් ගහන්න රපුන්සල් අමතක කලෙත් නෑ. රපුන්සල්ගේ විගඩම් දැකපු පොඩි ඈයො යටි ගිරියෙන් කෑ ගහල සතුට පළ කරන්න අමතක කලෙත් නෑ. රපුන්සල්ව බලන්න ආපු පුංචි අමුත්තන්ව රපුන්සල්ට වගේම මටත් සුන්දර අත්දැකීමක් වුණා.



Sunday, January 1, 2017

තට්ටු දෙකේ හා මන්දිරේ

කාලයක් තිස්සෙ මම පීඩා විඳපු ආදර කිවිසුම් ගැටළුවට විසඳුම අසරණ රපුන්සල් ගෙදරින් යැවීම නෙමෙයි, එයාට එළිමහනෙ කූඩුවක් හදල දීලා එයාව මගේ කාමරයෙන් පිටමං කිරීම කියල අම්මයි අප්පච්චියි අවසානයේදී තීරණය කරලා. අපේ ගෙදර බෝඩ් මීටින්ස් වලදි ගන්න තීරණ ගැන මෙලෝ හසරක් නොදන්න රපුන්සල් ආර්යාව මගේ කාමරේට වෙලා එයා ඊළඟට කරන මොගෝඩි වැඩේ ප්ලෑන් කර කර හිටියා. 

ළඟකදි ඉඳලා රපුන්සල් කරන්නෙම මහ එපා කරපු වැඩ. මගේ ෆෝන් චාජර් එක හත් පොළකින් කෑවා. ටීවී එකේ වයර් එක කෑවා. මගේ සපත්තුවක් උඩ චූ දැම්මා. සමාගම් පනත සම්බෝල කලා. ඒ හින්දා විභාගෙට කලින් දවසෙ එළි වෙනකම් ආපහු පේජ් ටැබ්ස් අලවන්න මට සිද්ධ වුණා. තව එයාගෙ වතුර කෝප්පෙ හලලා කාමරේ ගංගාවක් බවට පත්කලා. මඩ ගෑවිච්ච කකුල් පිටින් ඇඳට නැග්ගා. හම්මෝ.. රපුන්සල් මේ සතියෙ කරපු නොසණ්ඩාල වැඩ මට ලබන අවුරුද්ද වෙනකම්ම කියන්න වෙන තරම් දිග ලිස්ට් එකක්..

ඇයි පෙරේදා පුංචි අම්මලා අපේ ගෙදර රෑ කෑමට ආ වෙලාවෙ රපුන්සල් කරපු තකතීරු වැඩේ. හරියටම කිව්වොත් "කරන්න හදපු" තකතීරු වැඩේ. හොඳ වෙලාවට සතාගේ හැටි දන්න නිසා ලෝක විනාශයක් වෙන්න කලින් යන්තම් බේරා ගත්තෙ.. 

ඉතින් කොහොමින් කොහොම හරි මේ නොසණ්ඩාල හා ළමිස්සිට කූඩුවක් හදන්න තීරණය වුණා. කූඩුව හැමෝටම පේන තැනක තියන්නත් ඕනෙ. ලස්සනට තියෙන්නත් ඕනෙ. ඒක ඇතුළෙ රපුන්සල්ට දුවන්න පනින්න ඉඩ තියෙන්නත් ඕනෙ. කෑම කන්න තැනක්, නිදා ගන්න තැනක්, සෙල්ලම් බඩු තියන්න තැනක් වෙන වෙනම ඕනෙ. රස්නෙ වෙන්නත් බෑ. සීතල වෙන්නත් බෑ. මේ ඔක්කොටම වඩා කූඩුව ඉක්මණට හදලත් ඕනෙ. පවුලෙ හතර දෙනාම හා කූඩුව ගැන තම තමන්ගෙ අදහස් පළ කලා.

මේ ඔක්කොම අවශ්‍යතා සපුරන හා කූඩුවක ආකෘතියක් සොයා ගත්තෙ අන්තර්ජාලයෙන්. හා කූඩුවෙ දිග පළල ගැන තොරතුරුත් ඒකෙ තිබුණා. ඒ ආකෘතිය තමයි මේ.

යට තට්ටුවෙ තමයි කෑම සහ වතුර තියන්නෙ.. තව, රපුන්සල්ගෙ ටොයිලට් එකත් යට තට්ටුවයි. කම්මැලි හිතුණාම තණබිස්සෙ ටිකක් දිග ඇදිලා ඉන්නත් පුළුවන්නෙ. අඩි හතරක් දිගයි, අඩි දෙකක් පළලයි, අඩි දෙකක් උසයි. ඒ නිසා බඩ පිනුමක් ගහන්න වුණත් කූඩුව ඉඩ ඇති.

උඩ තට්ටුවෙ රපුන්සල්ගෙ නිදන කාමරේ. දවල්ට පොඩි නැප් එකක් දාන්න ඕනෙ වෙන නිසා කළුවරට හදල තියෙන්නෙ. හතුරෙක් ආවම හැංගෙන්නත් කියාපු තැන. අනෙක් පැත්තෙ එයාගෙ සෙල්ලම් බඩු තියනවා. උඩ තට්ටුවට යන්න තරප්පු සවි කල පඩිපෙළක් තියෙනවා. පහළ ඉන්න කම්මැලි හිතුණාම පඩිපෙළ දිගේ පැනගෙන පැනගෙන ඉහළට යන්න පුළුවන්.

ඊළඟ ප්‍රශ්නෙ.. කවුද මේ තට්ටු දෙකේ හා මන්දිරේ හදන ගෘහ නිර්මාණ ශිල්පියා..? වෙන කවුද ඉතින්, අප්පච්චි මිසක්.. අපේ ගෙදර තියෙන ඇඳ, පුටු, මේස බාගෙට බාගයක් හැදුවෙ අප්පච්චි. කලින් මම කියලත් ඇති, ගෙදර ප්ලෑන් එක ඇන්දෙත් අප්පච්චි. ගණිතයට දක්ෂ මොළේකුයි, නිර්මාණශීලී හිතකුයි තියෙන අපේ අප්පච්චිට බැරි දෙයක් නැහැ. හැබැයි අම්මයි මමයි අත් උදව් ලබා දෙනවා කියන පොරොන්දුව පිටයි එයා වැඩේට බැස්සෙ..

දවස් පහක් තිස්සෙ එක දිගට මහන්සි වෙලා අප්පච්චි තට්ටු දෙකේ හා මන්දිරේ හදල අවසන් කළා. හරිම ලස්සනයි. සැප පහසුයි. රපුන්සල්ව ඒක ඇතුළට දාලා බලන්න හැමෝම හිටියෙ නොඉවසිල්ලකින්.. හතර දෙනාගෙම ඒකමතික ඡන්දයෙන් තට්ටු දෙකේ හා මන්දිරේ රඹුටන් ගහ යට තියන්න තීරණය වුණා. ඊට පස්සෙ ජනවාරි පළවෙනිදා බඩ පිනුම් විදානේලාගේ රපුන්සල් එතනා තට්ටු දෙකේ හා මන්දිරේ සුබ නැකතින් විවෘත කරලා ගෙට ගෙවැදුනේ කිරි බතුත් කාලයි. 







ආදර කිවිසුම්

රපුන්සල් ගෙනා දා ඉඳලා මට හෙම්බිරිස්සාව.. රපුන්සල් පැන පැන යනකොට, කසනකොට, සතුටින් උඩ පනිනකොට එයාගෙ ලස්සන සිනිඳු ලොම් පූසෙකුගෙ වගේ හතර අතට වීසි වෙනවා.. දවසක් රපුන්සල් එළිමහනෙ වාඩි වෙලා ඉර එළිය නානකොට, දහස් ගණන් ලොම් එයාගෙ ඇඟෙන් ඊ තල වගේ දස දෙස විසිවෙනවා මම දැක්කා. 


සීතල දවසට රපුන්සල් ඉන්නෙ බෝලයක් වෙලා. පුංචි අත් දෙක ඇතුළට නවලා බඩ යටින් තියාගෙන, ලොම් පුම්බලා බෝලයක් වෙන රපුන්සල් හරි හුරතල්.. ඒත් ඒ වෙලාවට මට ඉවරයක් නැතුව කිවිසුම් යනවා. උදේ නැගිටපු ගමන් කිවිසුම් පෙළක් යවන මම රපුන්සල් කාමරේ එහෙ මෙහෙ දුවන හැම පාරක් ගානෙම කිවිසුම් යවනවා.

මට තියෙන ආදරය හින්දා, අම්මලා එයාව ගෙදරින් යවමු කියාවි කියලා මගේ හිතේ තියෙන බය නිසා මම ඒ කිවිසුම් යාම සහ රපුන්සල් අතරෙ සම්බන්ධයක් නැති ගාණට ඉන්නවා. කිවිසුම් යාම සහ රපුන්සල් කියන්නෙ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක් කියල අම්මාටයි අප්පච්චිටයි පෙන්වන්න මම අනේකවිධ උප්පරවැට්ටි යොදනවා. 

උණු වතුර බොන්න, නාන්න පොඩි කාලෙ ඉඳලම අකමැති මම හදිසියේම උණු වතුර පාවිච්චියට ඇබ්බැහි වුණේ මොකද කියලා අම්මයි අප්පච්චියි කල්පනා කරනවා. නිතර කිවිසුම් යන නිසා සතියක් ගාණෙ මාව බෙහෙත් ගන්න එක්කන් යනවා. කිවිසුම් යාමට හේතුව රපුන්සල් කියලා ඩොක්ට හිතාවි කියලා, ගෙදර හාවෙක් ඇති කරන බවත්, හාවා වැඩි වශයෙන් ඉන්නෙ මගේ කාමරේ බවත් කියන එක මම හිතා මතාම මඟ හරිනවා. 

මගේ හැසිරීම ගැන මටත් වඩා හොඳින් දන්න අම්මාටත් අප්පච්චීටත් මේ ආදර කිවිසුම් ප්‍රශ්නය ඇස නොගැටී තියෙන්න බෑ කියන කරුණ, රපුන්සල් ගැන බොළඳ විදියට හිතමින් අමතක කරල දාන්න මම උත්සාහ කරනවා. මම නින්දට ගිය පසු අම්මාත් අප්පච්චීත් මුණු මුණු ගාමින් ආදර කිවිසුම් ප්‍රශ්නය ගැන කතා කරනවා මට ඇහෙනවා.

හාවුන්ගේ ලොම්, මූත්‍රා සහ හා බෙටි හෙම්බිරිස්සාව නිතර හැදෙන මම වගේ අයට අසාත්මික බව කියැවෙන ලිපි සිය ගණනක් මට අන්තර්ජාලයෙන් හම්බ වෙනවා. රපුන්සල් කියල හාවෙක් මම ඇති කරන බවත්, ඒ හාවාට මම අසීමිතව ආදරේ කරන බවත්, ඒ ආදරේ නිසාම හෙම්බිරිස්සාවෙන් පීඩා විඳින බවත් දන්න මගේ ගැන නිතර කරදර වෙන හොඳ මිතුරෙක් මේ ප්‍රශ්නෙට එක එක විසඳුම් යෝජනා කරමින් ඉන්නවා. සතුන්ට ආදරේ කිරීම එකක් බවත් ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තැබීමට යාම තව එකක් බවත් දෙවැන්න එක්තරා අන්දමක උමතු වැඩක් බවත් ඔහු මට නිරන්තරයෙන් මතක් කර දෙනවා. රපුන්සල් ආයෙත් හිටපු තැනටම ගිහින් දැමීම හොඳම විසඳුම බව හැමදාම පවසන ඔහු සමඟ මම හැමදාම අමනාප වෙනවා. ඒත් ඔහු කියන්නේ ඇත්ත බව හිතමින් මගේ ගොන්කම පසක් කරගෙන පසුවදා ආයෙත් මිතුරු වෙනවා.

මේ හැම දෙයක්ම සිදුවෙන අතරෙ රපුන්සල් ඒ ගැන මෙලෝ අදහසක් නැතුව කං කුං ගිල දමන යන්ත්‍රයක් බවට පත් වී ඉන්නවා. ආදර කිවිසුමකින් මම පීඩා විඳින හැම මොහොතකම ඒ රපුන්සල්ට මගේ ඇති ආදරය පෙන්වන ආකාරය යැයි සිතන ඈ, කිවිසුම් ශබ්දයෙන් ඔකඳ වී බඩ පිනුමක් ගසා තවත් හා ලොම් සිය දහස් ගණනක් මා වෙත පා කර එවා පෙරළා මට ද ආදරය ප්‍රකාශ කරනවා.