Thursday, February 2, 2017

පුංචි අමුත්තෝ

බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනා, අළුත් ගෙදරට ගොඩ වැදිලා දන්නෙම නැතුව මාසෙකුත් ගතවුණා. දැන් අපේ ගෙදරින් එළියට බැහැපු ගමන් රපුන්සල් විවේක සුවයෙන්, හා ගෙදර සඳළුතලේට වෙලා වැතිරිලා ඉන්න හැටි පේනවා. එහෙම නැත්නම් එයාගෙ කාමරේ දොරෙන් මුහුණ විතරක් එළියට දාගෙන විපරමෙන් බලාගෙන ඉන්නවා. ඒත් නැත්නම්, යට තට්ටුවට බැහැල පිස්සුවෙන් වගේ කෑම කනවා. එහෙමත් නැත්නම්, යට තට්ටුවේ මුල්ලක තියෙන එයාගෙ බාත් රූම් එකට ගිහින් ලැජ්ජාවෙන් ඉන්නවා. 

තට්ටු දෙකේ හා මන්දිරේ පදිංචියට ගිය අලුත, රපුන්සල්ව රෑට විතරක් ගේ ඇතුළට ගත්තෙ පුංචි පැටියාට තනියම ඉඳල හුරු නැති නිසා. ඒත් සතියක් යන්න කලියෙන් රෑටත් තනියම එයාගෙ ගෙදර ඉන්න රපුන්සල් පුරුදු වුණා. ඒත් ජනවාරි මාසෙ පුරාම තිබුණ ඇටකෝටු හිරිවට්ටන සීතල නිසා රපුන්සල් පීඩා වින්දා, මම වගේම. ඒකටත් අපි විසඳුමක් හොයාගත්තා. රෑ සීතල ඇතුලට එන්න කලින්, හවස හයට හය හමාරට විතර අපි රපුන්සල්ගෙ කූඩුව උණුසුම් බ්ලැන්කට් වලින් වහනවා. පහුවදා උදේ බ්ලැන්කට් ඉවත් කරනකං රපුන්සල් උණුහුමට ඉන්නවා.

රපුන්සල් තට්ටු දෙකේ හා මන්දිරේ පදිංචි වුණාට පස්සෙ තමයි ගෙදරට එන ගොඩක් දෙනා දැනගත්තෙ අපේ ගෙදර හාවෙක් ඉන්න විත්තිය. අපේ ගෙදර හාවෙක් ඉන්න බවත්, හාවා ගෑනු සතෙක් බවත්, නම රපුන්සල් බවත්, කන්නේ කංකුං හා බතල කොළ බවත්, ඉඳහිට කැරටුත් දෙන බවත්, දැන් ජීවත් වෙන්නෙ හාවාටම හැදූ කූඩුවක බවත්, දැකපු ගමන් පිස්සු හැදෙන තරම් ලස්සන බවත්, ඊයේ පංති ගියවිට හාවාව ඇස් දෙකෙන්ම දැකපු බවත්, එහේ ගියොත් හාවා බලන්න පුළුවන් බවත්, සමහරවිට අතගෑමට ලැබෙනු ඇතිබවත් ගමේ පුංචි ඈයොන්ගෙ කන් වලට වැටෙන්න වැඩි දොහක් ගියේ නෑ.

ඊට පස්සෙ අපේ ගෙදරට හිටිහැටියේ පොඩි පොඩි අය කඩාවදින්න පටන් ගත්තා. කං කුං, බතල කොළ, කැරට්, එරබදු කොළ, ඊ තණ වගේ රපුන්සල් කන්න ආසා දේවල් අරන් එන්න එයාලා අමතක කලේ නෑ. කවුරුහරි තමන්ව බලන්න ආපු වෙලාවට එහෙ මෙහෙ දුව පැනලා, ගෙනාපු දෙයක් කාලා, කරණම් දෙක තුනක් ගහන්න රපුන්සල් අමතක කලෙත් නෑ. රපුන්සල්ගේ විගඩම් දැකපු පොඩි ඈයො යටි ගිරියෙන් කෑ ගහල සතුට පළ කරන්න අමතක කලෙත් නෑ. රපුන්සල්ව බලන්න ආපු පුංචි අමුත්තන්ව රපුන්සල්ට වගේම මටත් සුන්දර අත්දැකීමක් වුණා.



No comments:

Post a Comment