Thursday, February 2, 2017

නියං සමයට රපුන්සල්ට අළුත් කෑම බීම

වැස්ස නැති නිසා අපිට විතරක් නෙමෙයි, රපුන්සල්ටත් කරදර ඇතිවෙලා.  හැමදාම ටීවී එකේ නියඟය ගැන ප්‍රවෘත්ති.. පෙබරවාරෙ මාසෙම වැස්ස නැතිවේවිලු. ආහාර හිඟයක් ඇති වේවිලු. අතිරේක ආහාර හොයාගන්නලු. දවසකට කං කුං මිටි දෙකක් ඉවර කරන රපුන්සල්ට ආහාර හිඟයේ බලපෑම තදින් දැනෙනවා. එයාගෙ ප්‍රධාන ආහාරය වුණු කං කුං දැන් හිඟයි. ඉස්සර වෙල් ඉස්මත්තෙ සරුවට වැඩුණු කං කුං වැල් එකින් එක වේලීගෙන යනවා. දවස ගාණෙ කං කුං හොයන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඉතිං මමයි අප්පච්චියි දැන්ම ඉඳන් රපුන්සල්ව අළුත් කෑමවලට හුරු කරන්න තීරණය කලා. 

1. රෝස මල්, වතුසුදු මල්, ඉද්ද මල් ඇතුළු තවත් මල්

මල් පූජා කලාට පස්සෙ විසිකරන පරවුණු මල් රපුන්සල් ආසාවෙන් කන බව මුලින්ම දැක්කෙ මමයි. එදා ඉඳන් පූජා කරපු මල් හැම එකක්ම වගේ රපුන්සල්ගෙ බඩට ගියා. මේ මල් අතරෙන් රෝස මල් වලට රපුන්සල් ගොඩක් කැමතියි. රතු, රෝස, සුදු රෝසමල්වලට රපුන්සල් ආසා වුණත් කහ රෝස මල්වලට අකමැතියි.

2. බෝංචි

මිදුලේ අයිනක අප්පච්චි හැදූ බෝංචි වැල්වල කරල් පිරිලා. දවසක් කඩපු බෝංචි කරල් කිහිපයක් අප්පච්චි රපුන්සල්ට දුන්නා. ඒත් රපුන්සල් කැමති කොළ බෝංචි වලට විතරයි. කහ බෝංචිවලට අකමැතියි.

3. කැරට් පොතු. බීට් පොතු. අල පොතු, කෙසෙල් ලෙලි

මේ එළවලු උයනකොට ඉවත දමන පොතු රපුන්සල්ට දීලා බලමු කිව්වේ අම්මා. කැරට් පොතු වලට නම ඉතින් රපුන්සල් කොහොමත් කැමතියිනෙ. කං කුං කන තරම් ආසාවෙන් නොකෑවත්, රපුන්සල් මේ පොතු වර්ග කැමැත්තකින් කන බව පේන්න තිබුණා.

4. වෙරළු කොළ

රපුන්සල්ගෙ තට්ටු දෙකේ හා මන්දිරේට අඩි පහක් හයක් ඈතින් වෙරළු ගහක් තියෙනවා. වත්තේ ඇවිදින ගමන් රපුන්සල් මේ වෙරළු ගහ යටටත් ගියා. බිම වැටුණු ඉදිච්ච වෙරළුත් කෑවා. කොළත් කෑවා. නියඟය තිබුණත් වෙරළු ගහේ කොළ අඩු වෙන්නෙ නැති නිසා රපුන්සල් වෙරළු කොළ කන්න කැමතිවීම හොඳ දෙයක්.

5. ජපන් බටු කොළ

සමහරු මේවාට සිංගප්පූරු කොළ කියනවා. මේවාගෙන් හදන මැල්ලුම් රසයි. ඒ නිසා රපුන්සල් මේවාට කැමතිවීම පුදුමයක් නෙමෙයි. මමත් මේ කොළ වර්ගයට කැමතියිනෙ.

6. ඊ තණ

"ඊ තණ පඳුරෙත් හාවො සිටින්නා" කියන රබන් පදේ මතක් වෙලා මම දවසක් රපුන්සල්ට ඊ තණ ඉති කීපයක් කඩල දුන්නා. කපන්න කාලෙ ළං වුණාම අප්පච්චිගෙ කොණ්ඩෙ වගේ පේන ඊ තණ, නියඟ කාලෙටත් සරුවට වැඩෙනවා. රපුන්සල් මේවාට ගොඩක් කැමති වුණා. ඒ වගේම මේවා හරිම ගුණයි ලු. ඒත් කඩල පැය බාගයක් ගතවෙන්න කලින් මේ තෘණ වර්ගය වේලිලා යනවා. ඒ නිසා කඩපු ගමන් තණකොළ මිටිය වතුර භාජනේක දාන්න වෙනවා. එතකොට රපුන්සල් දවස පුරාම කැමැත්තෙන් කනවා.

තවත් අළුත් කෑම ඉදිරියේදී..


පුංචි අමුත්තෝ

බඩ පිනුම් අප්පුලාගේ රපුන්සල් එතනා, අළුත් ගෙදරට ගොඩ වැදිලා දන්නෙම නැතුව මාසෙකුත් ගතවුණා. දැන් අපේ ගෙදරින් එළියට බැහැපු ගමන් රපුන්සල් විවේක සුවයෙන්, හා ගෙදර සඳළුතලේට වෙලා වැතිරිලා ඉන්න හැටි පේනවා. එහෙම නැත්නම් එයාගෙ කාමරේ දොරෙන් මුහුණ විතරක් එළියට දාගෙන විපරමෙන් බලාගෙන ඉන්නවා. ඒත් නැත්නම්, යට තට්ටුවට බැහැල පිස්සුවෙන් වගේ කෑම කනවා. එහෙමත් නැත්නම්, යට තට්ටුවේ මුල්ලක තියෙන එයාගෙ බාත් රූම් එකට ගිහින් ලැජ්ජාවෙන් ඉන්නවා. 

තට්ටු දෙකේ හා මන්දිරේ පදිංචියට ගිය අලුත, රපුන්සල්ව රෑට විතරක් ගේ ඇතුළට ගත්තෙ පුංචි පැටියාට තනියම ඉඳල හුරු නැති නිසා. ඒත් සතියක් යන්න කලියෙන් රෑටත් තනියම එයාගෙ ගෙදර ඉන්න රපුන්සල් පුරුදු වුණා. ඒත් ජනවාරි මාසෙ පුරාම තිබුණ ඇටකෝටු හිරිවට්ටන සීතල නිසා රපුන්සල් පීඩා වින්දා, මම වගේම. ඒකටත් අපි විසඳුමක් හොයාගත්තා. රෑ සීතල ඇතුලට එන්න කලින්, හවස හයට හය හමාරට විතර අපි රපුන්සල්ගෙ කූඩුව උණුසුම් බ්ලැන්කට් වලින් වහනවා. පහුවදා උදේ බ්ලැන්කට් ඉවත් කරනකං රපුන්සල් උණුහුමට ඉන්නවා.

රපුන්සල් තට්ටු දෙකේ හා මන්දිරේ පදිංචි වුණාට පස්සෙ තමයි ගෙදරට එන ගොඩක් දෙනා දැනගත්තෙ අපේ ගෙදර හාවෙක් ඉන්න විත්තිය. අපේ ගෙදර හාවෙක් ඉන්න බවත්, හාවා ගෑනු සතෙක් බවත්, නම රපුන්සල් බවත්, කන්නේ කංකුං හා බතල කොළ බවත්, ඉඳහිට කැරටුත් දෙන බවත්, දැන් ජීවත් වෙන්නෙ හාවාටම හැදූ කූඩුවක බවත්, දැකපු ගමන් පිස්සු හැදෙන තරම් ලස්සන බවත්, ඊයේ පංති ගියවිට හාවාව ඇස් දෙකෙන්ම දැකපු බවත්, එහේ ගියොත් හාවා බලන්න පුළුවන් බවත්, සමහරවිට අතගෑමට ලැබෙනු ඇතිබවත් ගමේ පුංචි ඈයොන්ගෙ කන් වලට වැටෙන්න වැඩි දොහක් ගියේ නෑ.

ඊට පස්සෙ අපේ ගෙදරට හිටිහැටියේ පොඩි පොඩි අය කඩාවදින්න පටන් ගත්තා. කං කුං, බතල කොළ, කැරට්, එරබදු කොළ, ඊ තණ වගේ රපුන්සල් කන්න ආසා දේවල් අරන් එන්න එයාලා අමතක කලේ නෑ. කවුරුහරි තමන්ව බලන්න ආපු වෙලාවට එහෙ මෙහෙ දුව පැනලා, ගෙනාපු දෙයක් කාලා, කරණම් දෙක තුනක් ගහන්න රපුන්සල් අමතක කලෙත් නෑ. රපුන්සල්ගේ විගඩම් දැකපු පොඩි ඈයො යටි ගිරියෙන් කෑ ගහල සතුට පළ කරන්න අමතක කලෙත් නෑ. රපුන්සල්ව බලන්න ආපු පුංචි අමුත්තන්ව රපුන්සල්ට වගේම මටත් සුන්දර අත්දැකීමක් වුණා.