Sunday, January 1, 2017

තට්ටු දෙකේ හා මන්දිරේ

කාලයක් තිස්සෙ මම පීඩා විඳපු ආදර කිවිසුම් ගැටළුවට විසඳුම අසරණ රපුන්සල් ගෙදරින් යැවීම නෙමෙයි, එයාට එළිමහනෙ කූඩුවක් හදල දීලා එයාව මගේ කාමරයෙන් පිටමං කිරීම කියල අම්මයි අප්පච්චියි අවසානයේදී තීරණය කරලා. අපේ ගෙදර බෝඩ් මීටින්ස් වලදි ගන්න තීරණ ගැන මෙලෝ හසරක් නොදන්න රපුන්සල් ආර්යාව මගේ කාමරේට වෙලා එයා ඊළඟට කරන මොගෝඩි වැඩේ ප්ලෑන් කර කර හිටියා. 

ළඟකදි ඉඳලා රපුන්සල් කරන්නෙම මහ එපා කරපු වැඩ. මගේ ෆෝන් චාජර් එක හත් පොළකින් කෑවා. ටීවී එකේ වයර් එක කෑවා. මගේ සපත්තුවක් උඩ චූ දැම්මා. සමාගම් පනත සම්බෝල කලා. ඒ හින්දා විභාගෙට කලින් දවසෙ එළි වෙනකම් ආපහු පේජ් ටැබ්ස් අලවන්න මට සිද්ධ වුණා. තව එයාගෙ වතුර කෝප්පෙ හලලා කාමරේ ගංගාවක් බවට පත්කලා. මඩ ගෑවිච්ච කකුල් පිටින් ඇඳට නැග්ගා. හම්මෝ.. රපුන්සල් මේ සතියෙ කරපු නොසණ්ඩාල වැඩ මට ලබන අවුරුද්ද වෙනකම්ම කියන්න වෙන තරම් දිග ලිස්ට් එකක්..

ඇයි පෙරේදා පුංචි අම්මලා අපේ ගෙදර රෑ කෑමට ආ වෙලාවෙ රපුන්සල් කරපු තකතීරු වැඩේ. හරියටම කිව්වොත් "කරන්න හදපු" තකතීරු වැඩේ. හොඳ වෙලාවට සතාගේ හැටි දන්න නිසා ලෝක විනාශයක් වෙන්න කලින් යන්තම් බේරා ගත්තෙ.. 

ඉතින් කොහොමින් කොහොම හරි මේ නොසණ්ඩාල හා ළමිස්සිට කූඩුවක් හදන්න තීරණය වුණා. කූඩුව හැමෝටම පේන තැනක තියන්නත් ඕනෙ. ලස්සනට තියෙන්නත් ඕනෙ. ඒක ඇතුළෙ රපුන්සල්ට දුවන්න පනින්න ඉඩ තියෙන්නත් ඕනෙ. කෑම කන්න තැනක්, නිදා ගන්න තැනක්, සෙල්ලම් බඩු තියන්න තැනක් වෙන වෙනම ඕනෙ. රස්නෙ වෙන්නත් බෑ. සීතල වෙන්නත් බෑ. මේ ඔක්කොටම වඩා කූඩුව ඉක්මණට හදලත් ඕනෙ. පවුලෙ හතර දෙනාම හා කූඩුව ගැන තම තමන්ගෙ අදහස් පළ කලා.

මේ ඔක්කොම අවශ්‍යතා සපුරන හා කූඩුවක ආකෘතියක් සොයා ගත්තෙ අන්තර්ජාලයෙන්. හා කූඩුවෙ දිග පළල ගැන තොරතුරුත් ඒකෙ තිබුණා. ඒ ආකෘතිය තමයි මේ.

යට තට්ටුවෙ තමයි කෑම සහ වතුර තියන්නෙ.. තව, රපුන්සල්ගෙ ටොයිලට් එකත් යට තට්ටුවයි. කම්මැලි හිතුණාම තණබිස්සෙ ටිකක් දිග ඇදිලා ඉන්නත් පුළුවන්නෙ. අඩි හතරක් දිගයි, අඩි දෙකක් පළලයි, අඩි දෙකක් උසයි. ඒ නිසා බඩ පිනුමක් ගහන්න වුණත් කූඩුව ඉඩ ඇති.

උඩ තට්ටුවෙ රපුන්සල්ගෙ නිදන කාමරේ. දවල්ට පොඩි නැප් එකක් දාන්න ඕනෙ වෙන නිසා කළුවරට හදල තියෙන්නෙ. හතුරෙක් ආවම හැංගෙන්නත් කියාපු තැන. අනෙක් පැත්තෙ එයාගෙ සෙල්ලම් බඩු තියනවා. උඩ තට්ටුවට යන්න තරප්පු සවි කල පඩිපෙළක් තියෙනවා. පහළ ඉන්න කම්මැලි හිතුණාම පඩිපෙළ දිගේ පැනගෙන පැනගෙන ඉහළට යන්න පුළුවන්.

ඊළඟ ප්‍රශ්නෙ.. කවුද මේ තට්ටු දෙකේ හා මන්දිරේ හදන ගෘහ නිර්මාණ ශිල්පියා..? වෙන කවුද ඉතින්, අප්පච්චි මිසක්.. අපේ ගෙදර තියෙන ඇඳ, පුටු, මේස බාගෙට බාගයක් හැදුවෙ අප්පච්චි. කලින් මම කියලත් ඇති, ගෙදර ප්ලෑන් එක ඇන්දෙත් අප්පච්චි. ගණිතයට දක්ෂ මොළේකුයි, නිර්මාණශීලී හිතකුයි තියෙන අපේ අප්පච්චිට බැරි දෙයක් නැහැ. හැබැයි අම්මයි මමයි අත් උදව් ලබා දෙනවා කියන පොරොන්දුව පිටයි එයා වැඩේට බැස්සෙ..

දවස් පහක් තිස්සෙ එක දිගට මහන්සි වෙලා අප්පච්චි තට්ටු දෙකේ හා මන්දිරේ හදල අවසන් කළා. හරිම ලස්සනයි. සැප පහසුයි. රපුන්සල්ව ඒක ඇතුළට දාලා බලන්න හැමෝම හිටියෙ නොඉවසිල්ලකින්.. හතර දෙනාගෙම ඒකමතික ඡන්දයෙන් තට්ටු දෙකේ හා මන්දිරේ රඹුටන් ගහ යට තියන්න තීරණය වුණා. ඊට පස්සෙ ජනවාරි පළවෙනිදා බඩ පිනුම් විදානේලාගේ රපුන්සල් එතනා තට්ටු දෙකේ හා මන්දිරේ සුබ නැකතින් විවෘත කරලා ගෙට ගෙවැදුනේ කිරි බතුත් කාලයි. 







ආදර කිවිසුම්

රපුන්සල් ගෙනා දා ඉඳලා මට හෙම්බිරිස්සාව.. රපුන්සල් පැන පැන යනකොට, කසනකොට, සතුටින් උඩ පනිනකොට එයාගෙ ලස්සන සිනිඳු ලොම් පූසෙකුගෙ වගේ හතර අතට වීසි වෙනවා.. දවසක් රපුන්සල් එළිමහනෙ වාඩි වෙලා ඉර එළිය නානකොට, දහස් ගණන් ලොම් එයාගෙ ඇඟෙන් ඊ තල වගේ දස දෙස විසිවෙනවා මම දැක්කා. 


සීතල දවසට රපුන්සල් ඉන්නෙ බෝලයක් වෙලා. පුංචි අත් දෙක ඇතුළට නවලා බඩ යටින් තියාගෙන, ලොම් පුම්බලා බෝලයක් වෙන රපුන්සල් හරි හුරතල්.. ඒත් ඒ වෙලාවට මට ඉවරයක් නැතුව කිවිසුම් යනවා. උදේ නැගිටපු ගමන් කිවිසුම් පෙළක් යවන මම රපුන්සල් කාමරේ එහෙ මෙහෙ දුවන හැම පාරක් ගානෙම කිවිසුම් යවනවා.

මට තියෙන ආදරය හින්දා, අම්මලා එයාව ගෙදරින් යවමු කියාවි කියලා මගේ හිතේ තියෙන බය නිසා මම ඒ කිවිසුම් යාම සහ රපුන්සල් අතරෙ සම්බන්ධයක් නැති ගාණට ඉන්නවා. කිවිසුම් යාම සහ රපුන්සල් කියන්නෙ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක් කියල අම්මාටයි අප්පච්චිටයි පෙන්වන්න මම අනේකවිධ උප්පරවැට්ටි යොදනවා. 

උණු වතුර බොන්න, නාන්න පොඩි කාලෙ ඉඳලම අකමැති මම හදිසියේම උණු වතුර පාවිච්චියට ඇබ්බැහි වුණේ මොකද කියලා අම්මයි අප්පච්චියි කල්පනා කරනවා. නිතර කිවිසුම් යන නිසා සතියක් ගාණෙ මාව බෙහෙත් ගන්න එක්කන් යනවා. කිවිසුම් යාමට හේතුව රපුන්සල් කියලා ඩොක්ට හිතාවි කියලා, ගෙදර හාවෙක් ඇති කරන බවත්, හාවා වැඩි වශයෙන් ඉන්නෙ මගේ කාමරේ බවත් කියන එක මම හිතා මතාම මඟ හරිනවා. 

මගේ හැසිරීම ගැන මටත් වඩා හොඳින් දන්න අම්මාටත් අප්පච්චීටත් මේ ආදර කිවිසුම් ප්‍රශ්නය ඇස නොගැටී තියෙන්න බෑ කියන කරුණ, රපුන්සල් ගැන බොළඳ විදියට හිතමින් අමතක කරල දාන්න මම උත්සාහ කරනවා. මම නින්දට ගිය පසු අම්මාත් අප්පච්චීත් මුණු මුණු ගාමින් ආදර කිවිසුම් ප්‍රශ්නය ගැන කතා කරනවා මට ඇහෙනවා.

හාවුන්ගේ ලොම්, මූත්‍රා සහ හා බෙටි හෙම්බිරිස්සාව නිතර හැදෙන මම වගේ අයට අසාත්මික බව කියැවෙන ලිපි සිය ගණනක් මට අන්තර්ජාලයෙන් හම්බ වෙනවා. රපුන්සල් කියල හාවෙක් මම ඇති කරන බවත්, ඒ හාවාට මම අසීමිතව ආදරේ කරන බවත්, ඒ ආදරේ නිසාම හෙම්බිරිස්සාවෙන් පීඩා විඳින බවත් දන්න මගේ ගැන නිතර කරදර වෙන හොඳ මිතුරෙක් මේ ප්‍රශ්නෙට එක එක විසඳුම් යෝජනා කරමින් ඉන්නවා. සතුන්ට ආදරේ කිරීම එකක් බවත් ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තැබීමට යාම තව එකක් බවත් දෙවැන්න එක්තරා අන්දමක උමතු වැඩක් බවත් ඔහු මට නිරන්තරයෙන් මතක් කර දෙනවා. රපුන්සල් ආයෙත් හිටපු තැනටම ගිහින් දැමීම හොඳම විසඳුම බව හැමදාම පවසන ඔහු සමඟ මම හැමදාම අමනාප වෙනවා. ඒත් ඔහු කියන්නේ ඇත්ත බව හිතමින් මගේ ගොන්කම පසක් කරගෙන පසුවදා ආයෙත් මිතුරු වෙනවා.

මේ හැම දෙයක්ම සිදුවෙන අතරෙ රපුන්සල් ඒ ගැන මෙලෝ අදහසක් නැතුව කං කුං ගිල දමන යන්ත්‍රයක් බවට පත් වී ඉන්නවා. ආදර කිවිසුමකින් මම පීඩා විඳින හැම මොහොතකම ඒ රපුන්සල්ට මගේ ඇති ආදරය පෙන්වන ආකාරය යැයි සිතන ඈ, කිවිසුම් ශබ්දයෙන් ඔකඳ වී බඩ පිනුමක් ගසා තවත් හා ලොම් සිය දහස් ගණනක් මා වෙත පා කර එවා පෙරළා මට ද ආදරය ප්‍රකාශ කරනවා.