මට හීනයක් තිබුණා.. තණ බිස්සක රපුන්සල් දුවන පනින හැටි දකින්න, එයාගෙ දත්වලින්ම කඩාගෙන නැවුම් දළු කොළ රස කර කර කනව දකින්න..
රපුන්සල් ගෙදර ගෙනල්ල ටික වෙලාවකින් එයාව තණකොළ බිස්සට දාමු කියන අදහස ආවෙ අප්පච්චිට. අපේ ගෙදර ඉන්න නොසණ්ඩාල බලු පැටිය, චබී තමයි ඉතින් රපුන්සල්ට කරදරයක් කරොත් කරන්නෙ. ඒ නිසා එයාව දැම්ම කූඩුවට. ඊටපස්සෙ අම්මයි, මමයි, අප්පච්චියි සමකෝණී ත්‍රිකෝණයක මුළු තුනක් වෙලා රපුන්සල්ව එයාගෙ කූඩෙන් මුදාහැරියා. රෝස පාට කූඩෙන් එළියෙ අමුතු ලෝකෙ දිහා ටික වෙලාවක් ඇස් ලොකු කරගෙන බලන් ඉඳපු රපුන්සල්, එයාගෙ ජීවිතේ පළවෙනි වතාවට තණ බිස්සක් උඩ කකුල තිබ්බා.
ඒක දැකපු මට මතක් වුණේ "Tangled" කියන ඇනිමේටඩ් ෆිල්ම් එකේ රපුන්සල්, එයා පුංචි කාලෙ ඉඳන් ජීවත්වෙච්ච කුළුණෙන් එළියට ඇවිත් තණකොළ පහස කකුල් වලට දැනුණම, පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවන ගමන් කියන සිංදුව..
රපුන්සල්ට "රපුන්සල්" කියල නම දැම්ම හේතුව මම තවමත් කල්පනා කරනව. මගෙ රපුන්සල්ගෙයි ෆිල්ම් එකේ රපුන්සල්ගෙයි තියෙන සමානකම් මගේ හිතට ගේන්නෙ වේදනාවක්. රපුන්සල්ට නම දාපු දවසෙ රෑ, මම ආයෙමත් සැරයක් Tangled මූවි එක බලනගමන් හිතුවෙ මේ සමානකම් ගැනයි. රපුන්සල්ව බලාගන්නෙ මම නිසා, රපුන්සල්ට "රපුන්සල්" කියල නම තිබ්බොත් මම එයාගෙ නපුරු කුඩම්ම වෙනව. රපුන්සල්ට නම දුන්නෙ, මම ගොඩක් ආදරේ කරන ප්‍රාණියෙක්. එයා මාව නපුරු කුඩම්මගෙ චරිතෙට ආදේශ කිරීම නම් ටිකක් දරුණු වැඩියි. ඒක දැනෙන්නෙ හරියට අච්චාරු වල තිබුණ මිරිස් කරලක් හැපුණ වගෙයි. ඇඹුල් රසයි, සැරයි. ගැස්ට්‍රයිටිස් වලට මේ දෙකම හොඳ නැහැ.
ෆිල්ම් එකේ රපුන්සල් වගේම මගෙ හා පැටික්කිත් තණකොළ ගහක් කකුලෙ ගෑවෙනකොට කොහොමද දැනෙන්නෙ කියල මීට කලින් විඳල නෑ. එක කකුලක් තණබිස්සෙ තියල රපුන්සල් බැලුවෙ මගේ දිහාවෙයි. මම එයා දිහා බලාගෙන හිටියෙ "ඔව්.. අනිත් කකුලත් තියන්න." කියන බැල්මෙන්. කකුල් හතරම, ඊයෙ වැටුණ පොද වැස්සට තෙමිල නිල් කොළ පාටට පණගහල තියෙන තණකොල උඩ තියල කරණමක් ගහපු රපුන්සල් වේගෙන් පැනගෙන පැනගෙන ගියා.
මිදුලෙ තිබුණ හැම කොළයක්ම, දල්ලක්ම, මලක්ම ඉව කරල අසිහියෙන් වගේ එයා එහාට මෙහාට දුවන හැටි දැක්කම රපුන්සල් අද කැලේටම පැනල යාවිද කියල මට බය හිතුණා. රපුන්සල් රට හාවෙක් බවත්, කැලෑ හාවො වගේ කැලේට පනින්න රට හාවො කැමති නැති බවත් අප්පච්චි කිව්වම මගේ හිත සැනසුණා. තණකොළ, උඳුපියලිය, ගොටුකොළ, නිදිකුම්බා.. එකී මෙකී නොකී හැම පැළෑටියක්ම පොඩ්ඩක් විකල රහ බලන්න රපුන්සල් අමතක කලේ නෑ. ඒත් අන්තිමට එයාගෙ හිතට අල්ලපු රහ තිබුණෙ උඳුපියලිය කොළවලයි.

කූඩුවෙන් එළියට රෝල් වෙලා ගිය කැරට් අලේ තණකොල ගොල්ලෙ ඔහේ වැටිල තිබුණ. රපුන්සල් නෙමෙයි ඒ දිහා නිකමටවත් බැලුවෙ. දිලිසෙන ඇස්, නලියන කන්, මැෂින් එකක් වගේ වැඩකරන පුංචි කට.. රපුන්සල්ගෙ හැම සෛලෙකින්ම පේන්න තිබුණෙ එයා මේ මොහොතෙ විඳින උපරිම සතුට. උඳුපියලිය ගොල්ලෙ දිගාවෙලා කොළ කාගෙන කාගෙන යන රපුන්සල් දැකල මම තීරණය කලේ එයාගෙ ගෙදර වෙන්න ඕනෙ මගෙ ඇහිරිච්ච හොස්ටල් කාමරේ නෙමෙයි අපේ ගෙදර කියලයි. ඔව්, මේ සතුට එයාට හැමදාම විඳින්න ඉඩ දෙන්න ඕනෙ නිසා මම එයාව ගෙදර තියල යනව. ඈත ඉඳන් රපුන්සල්ගෙ ඒ නිම් හිම් නැති ප්‍රීතිය දිහා බලාගෙන හිටපු මගේ ඇස් වලට කඳුලු ආවෙ ඇයි කියල මම දන්නෙ නෑ.
No comments:
Post a Comment