Friday, April 14, 2017

සෙන්ටර් ඔෆ් ඇටෙන්ෂන්

මේ දවස්වල අවුරුදු. හැම අවුරුද්දෙම මේ කාලෙට අපේ ගෙදර එන අමුත්තන්ගෙ නිරන්තර අවධානය යොමු වුණේ චක්ට. එයා දඟ වැඩ කරන හුරතල් පූසෙක් හින්දා හැම කෙනෙක්ම චක්ට කැමතියි. පොඩි අයව දැක්කම චක්ට පිස්සු හැදෙනවා. එයාල කෑ ගහ ගහ චක්ගෙ පස්සෙන් දුවනකොට චක්ගෙ මොළේ සෙල්ලම් හෝමෝනය දෝරෙ ගලනවා වෙන්නෙ ඕනෙ. ඇස් දෙක ජිල් බෝල වගේ කරගෙන, වලිගෙ කෙකටිය මලක් වගේ අගින් නවාගෙන එහෙ මෙහෙ ඇවිදින්නෙ ඒ නිසා. කට්ටිය ගෙදර එනකොට ලස්සනට ඉන්න එපැයි. ඒ හින්දා අහල පහල ගෙවල්වල හැළි වළංවලට ඔළුව දාල දැලි ගාගන්නෙත් නෑ. උදේම නැගිටල වරුවක් තිස්සෙ මූණ හෝදල ප්‍රියමනාප විදියට ඉන්නවා. පොඩ්ඩක් කකුලෙ වෙළිලා අඟර දඟර පෑවම කොකිස් කෑල්ලක්, කැවුම් කෑල්ලක්, තව ගොඩක් කරුණාවන්ත බබෙක් අපේ ගෙදර ඇවිත් ඉන්න වෙලාවක කේක් කෑල්ලක් එහෙමත් හම්බ වෙන හින්දා චක් අවුරුද්දෙ මේ කාලෙට හරි කැමතියි. 

අනේ ඉතිං ගිය අවුරුද්ද වෙනකං තමයි මේ ඔක්කොම. දැන් පොඩ්ඩො ඔක්කොමලා අපේ ගෙදර එන්නෙ රපුන්සල්ව බලන්නයි. චක් උන්නද මළාද කියලා කාටවත් ගාණක් නෑ. ගෙදර එන බබාලා කවුරුත් දැන් කැවුම්, කොකිස් කන්නෙ කෑම මේසෙට ඉඳගෙන නෙමෙයිනෙ. රපුන්සල්ගෙ ගෙදර ගාව හිටගෙනයි. කෑම බීම අතිනුත් චක්ට වාසියක් නැති පාටයි. පොඩ්ඩක් එළිපහළියට ගිහිල්ලා, කකුලෙ ඇතිල්ලුණාට කාටවත් දැනුණෙත් නෑ. කවුරුත් බැලුවෙත් නෑ. හැමෝගෙම ඇස් අර අලුත ගෙනා හා තඩියා දිහාවෙ. චක්ට ඉතින් කේන්තිය ඉවසගන්න බෑ.

සාලෙ ටීපෝව උඩට නැගල බැලුවා. එතකොට අප්පච්චි එළෙව්වා. කෑම මේසෙට නැගලා බැලුවා. එතකොට අම්මා 'චිප් චිප්' කිව්වා. අයියා ළඟට ගිහින් එබිකම් කෙරුවා. එයා පණ දාගෙන කාටදෝ කෝල් කරනවා. ඤාව් කිව්වත් බැලුවෙ නෑ. මගේ ළඟට ආවා. මාත් පාඩම් කරනවනෙ. උකුලට අත් දෙක තියල බැලුවට වැඩක් වුණේ නෑ. මිදුලට ගිහින් බලු පැටියාට කිට්ටු කෙරුවා. එයා ගෙරෙව්වා. ආපහු ඇවිත් කුස්සියේ එල්ලල තියෙන කැවුම් මල්ල දිහාත් බැලුවා. ඒක උස වැඩියි. චක්ට දුකයි. තරහයි. 'මේ ඔක්කොටම මුල අර හා තඩියා.' චක් හිතුවා. අන්තිමේදි චක් කල්පනා කළා කොහොමහරි හැමෝගෙම අවධානය ගන්න ක්‍රමයක් ගැන. 

ඊ ළඟට ගෙදරට කවුරුහරි එනකම් චක් මඟ බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සෙ අපේ ගෙදරට ආපු කට්ටිය දැක්කෙ නැති ගාණට මිදුලෙ රඹුටන් ගහ යට ගල් මේසෙ උඩට වෙලා නින්දක් දාගෙන වගේ හිටියා. එයාලත් චක්ව ගණන් ගත්තෙ නෑ. හැමෝම රපුන්සල් දිහා බල බල ඉඳල ගේ ඇතුළට ගියාම චක් හෙමින් සීරුවෙ පුළුන් කොට්ට කකුල් තිය තිය ගිහිල්ලා එයාලගෙ වාහනේ ඇතුළට රිංග ගත්තා. සීට් එක උඩ බෝලයක් හැදිල සැපට නිදා ගත්තා. කවුරුත් දැක්කෙ නෑ.

හැමෝම කාල බීලා, රපුන්සල්ව හුරතල් කරලා, ආගිය තොරතුරු කතා කරලා ආපහු යන්න ලෑස්ති වෙලා වාහනේ ළඟට ආවා. 'හානේ මෙන්න පූසෙක් වාහනේ ඇතුළේ..' එක බබෙක් කෑ ගැහුවා. චක් මුකුත් නෑහුණ ගාණට නිදාගෙන හිටියා. හොරට නිදාගෙන ඉන්න අය කණ ගාව ක්ලේමෝ බෝම්බයක් පිපුරුවත් ඇහැරෙන්නෙ නෑ කියනවනෙ. 'පූසෙක්?? වාහනේ ඇතුළේ??' අපේ ගෙදර හැමෝටම දෙලොව රත්වුණා. 'චක් මැණික අපිව දාල යන්න හදනවද?' මම එක පිම්මට ගිහින් චක්ව වඩා ගත්තා. සැලසුම තිතටම වැඩ කළා. චක් නිකං රත්තරනින් හදාපු කරඬුවක් වගේ මගේ දෝතෙන් ගේ ඇතුළට ගියා. හැමෝම එයාව අතගෑවා. අම්මා කේක් කෑල්ලකුත් දුන්නා. නැතිවුණු අවධානෙත් ආපහු ලැබුණා.